ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ලබන මස 06 වැනිදා දක්වා යළි දීර්ඝ කර ඇති මෙම අභිලාෂ කැඳවීම් ආරම්භ කෙරුනේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය. ඉන් අනතුරුව අවස්ථා හතරක දී එම කාලය දීර්ඝ කෙරුණි.
ශ්‍රි ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීම සිද්ධවන අතර කිසි කලෙකත් නොවූ ආකාරයට ගුවන් ගමන් කල් යෑම, එම සිදුවීම් මහත් උත්කරෂයෙන් වාර්තා කිරීම, ගුවන් සේවාව දියුණු කර පවත්වා ගැනීම සදහා ගුවන්සමාගම විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප වීම සිදුවෙමින් ඇති බව ගුවන්තොටුපල සේවක වෘත්තීය සමිති චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ ඇමතිවරයාට ස්වකීය අදහස්වලට ඇහුම්කන් දීමට අවශ්‍යතාවයක් නොමැති බව පසුගියදා ඇමතිවරයා සහ ගුවන්තොටුපල සේවකයින් අතර පැවති සාකච්ඡාවේ දී පෙනී ගිය බවය.







