සුජිත් හේවාජුලිගේ –
ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් ගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පළමුවැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තුවට රැගෙන යෑමට කෙරුණු ඉල්ලීමක් රොනීද මැල්ගේ අවසන් කැමැත්තට ගරු කරමින් සංවිධායක මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.
දේහය කොළඹ 3 චාල්ස් රියමඟ අංක 5 දරන ඒ මහතාගේ නිවෙසේ මහජන ගෞරවය සඳහා ඊයේ තැන්පත් කර කෙරිණ.
දේහය රැගත් ආදාහන පෙරහැර හෙට (29) පස්වරු 2.00 ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලයට රැගෙන යෑමට නියමිතය.
රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන ඉදිරිවීර ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය විසින් එහිදී දේහය බාර ගනු ලබනු ඇත.
අනතුරුව රොනීද මැල්ගේ දේහය රුහුණු විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය අසල විශේෂ ශාලාවේ මහජන සහ සිසු ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.
පසු දින එනම් මාර්තු 1 වැනිදා දේහය අවමගුල් පෙරහරකින් රුහුණු විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණයට රැගෙන යෑමට නියමිතය.
පස්වරු 4.00 ට බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව රොනී ද මැල් හිටපු මුදල් අමාත්‍යවරයාගේ අවසන් කැමැත්ත අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ දේශපාලන ගුරුවරයා ලෙස සැලකූ හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන වෙනුවෙන් ඔහුගේ පුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගුණකතන පැවැත්වීමට නියමිතය. – ලංකාදීප