ශ්‍රි ලංකා කණ්ඩායම මෙතෙක් සිම්බාබ්වේ කණ්ඩායම සමග තීරණාත්මක තරග ක්‍රීඩා කර නැත. එහෙත් ඉතිහාසය වෙනස් වී තිබේ.
ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් නොලබා විසි වී ගියේය. ඒ ස්කොට්ලන්තය හමුවේ කඩුළු 07ක බිහිසුනු පරාජයක් ලබමිනි. ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගවල නෙදර්ලන්තය වැනි කණ්ඩායම්වල තර්ජනවලට ලක් වෙමිනි.
අද (02) ශ්‍රී ලංකා වෙලාවෙන් දහවල් 12.30ට බුලවායෝ ක්වින්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී ශ්‍රි ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක උනුසුම් තරගයක් පැවත්වෙන්නේය.
ශ්‍රී ලංකාව හැරුණ විට මේ තරගාවලියේ හොඳම ක්‍රීඩා විලාශය පෙන්නුම් කළ ප්‍රබලම කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමය. ඔවුන් මෙතෙක් අපරාජිතය. දෙපිලම ප්‍රසාද ලකුණු 06 බැගින් ලබාගෙන සිටිති. ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉදිරියෙන් සිටිය ද සිය මව් රටේ පැවැත්වෙන තරගාවලියේ විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සිම්බාව්වේ කණ්ඩායම මෙතෙක් සමත් වී ඇත.
අද තරගය ජයගන්නා කණ්ඩායමට සුපිරි 6 දෙනාගේ තරගාවලියේ අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාව පවතී.
තරගාවලිය අතර තුර ක්‍රීඩකයන් ද අබාධයට ලක් වෙමින් තිබේ. ලහිරු කුමාර නෙදර්ලන්ත තරගය අතරතු ආබාධයට ලක් වීම නිසා යළි රටට පැමිණ තිබේ. ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට එක් කර ඇත.
දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය තවමත් සුව නැත. ඔහු වෙනුවට දිල්ශාන් මධුසංඛ ක්‍රීඩා කරයි.
තරගාවලියේ වැදගත්ම තරගයක් නැරඹීමට අද බුලවායෝ ක්‍රීඩාංගනය සිම්බාබ්වේ ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී යනු ඇත.







