සූරියවැව නුවන් ජයසේකර –
ඓතිහාසික කුඩා සිතුල් පවුව විහාර භූමියේ පිහිටි පෞරාණික දාගැබක ගර්භය බිද නිධන් වස්තු සෙවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් යෝධකණ්ඩියේ පදිංචි සොත්ති රණා ඇතුළු සැකකරුවන් 07 දෙනා මුලික පොලිස් ප්‍රශ්න කිරීමෙන් පසු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය සැකකරුවන් 07 දෙනා මේ මස 07 වන දින දක්වා රකෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (03) සවස නියෝග කලාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිස්සමහාරාම අවට පදිංචි කරුවන්වන අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා ,රුමේෂ් අනුරාධ, ඒ.එල්.උවිදු ලක්ෂාන්,එ ස්.එන්.ප්‍රියන්ත ,එස්.ඒ.ජයමිණී මංජුල, ඒ.පී.නිමල් ගාමිණී හා ඒ.කේ.ඒ.අමිල නැමති සැකකරුවන් හත් දෙනාය.
සැකකරුවන් ඉකුත් 31 වන දින රාත්‍රි යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් ඉතා සූක්ෂම ලෙස කුඩා සිතුල් පවුවේ පිහිටි පුරාණ දාගැබක ගර්භය බිඳ නිධන් වස්තු සොයමින් සිටියදී පුදබිමේ ආරක්ෂාවට යොඳවා සිටි හමුදා නිළධාරියෙකු විසින් සැකකරුවෙකු අල්ලාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරුතුරු ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කෙරුණු අතර එහිදී තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට යොදාගත් ජිෆ් රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වි ඇත.
පසුව සැකකරුවන් කිරින්ද පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරුවරිය සැකකරුවන් මේ මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටියගේ අධීක්ෂණය යටතේ තිස්සමහාරාම, කිරින්ද හා ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානවල නිලධාරීන එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.