ශ්‍රියානි විජේසිංහ –
සීතා ඇතින්න නිරන්තරයෙන්ම බියට පත්වෙන බැවින් ඉදිරි දින කීපය තුළදී සීතාගේ මහරගම පුරුදු වාසස්ථානයට ගෙන ඒමට කටයුතු කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
ඇතින්නට හිටිහැටියේ වෙඩි තැබීම හේතුවෙන් සහ පසුගිය දිනවලදි කරන ලද සැත්කම් හේතුවෙන් මෙසේ භියට පත්වී ඇති බැවින් හරියාකාර නින්දක් නොලබන බවද මහාචාර්යවරයා පැවසුවේය.
ඇතින්නගේ බඩ ඉදිමෙන බවත් බඩ ඉදිමීමට බලපාන හේතු ගණනාවක්ම තිබෙන බැවින් ඒවා සොයා බැලීමට රුධිර පරක්ෂාවන් සිදුකළ නමුත් ඉන් කිසිවක් තහවුරු නොවූ බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා බඩ ඉදිරිමට තවත් එක් ප්‍රබල හේතුවක් වන්නේ අවශ්‍ය තරම් නින්දක් නොලැබෙන බවයැයිද කීය.
කෙසේ නමුත් සීතා ඇතින්නගේ සිරුර අභ්‍යන්තරයේ තවත් යකඩ බෝල කීයක් තිබෙද යන්න පිලිබදව සොයා බැලීමට සිදුවන බවත් හෘදය හා පෙනහළු ආසනයට යකඩ බෝල තිබෙන්නේද යන්න සොයා බැලීමට අවශ්‍ය පහසුකම් අපරටතුල නොමැති බැවින් ඉදිරියට සීතා ඇතින්නට කළ හැකි දේ කුමක්ද යන්න පිලිබඳව තවමත් සිතා ගැනීමට නොහැකිව සිටින බවත් මහාචාර්ය දංගොල්ල පැවසුවේය.