දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලය තුළ සිසුන් විසින් ඉදිකරණ ලද මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය නීති විරෝධී ඉදිකිරීමක් බවට තීරණය වී ඇති අතර එම ස්මාරකය ඉදි කෙරෙන තුරු නිහඬව සිටි යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියේ කීප දෙනෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ කොමිසම, යන ආයතන විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයේ කීප දෙනෙකුගෙන්ම මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශද ලබා ගෙන තිබේ.
2021 වසරේ ජනවාරී මාසායේදී යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙම යුද ස්මාරකය ඉදි කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එහි උපකුලපතිවරයා විසින් එම ස්මාරකය ඩෝසරයක් යොදා කඩා ඉවත් කළ අතර ඉන් කිපුණු සිසුන් හා යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියේ කීප දෙනෙකු යාපනය විශ්ව විද්‍යාලය තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබීය.
සිසුන් සිය පන්ති වර්ජනය කරමින් විශ්ව විද්‍යාලය ඉදිරිපිටට එක් වී කෑ කෝ ගසමින් කථිකාර්යවරු පිරිසක් විශ්ව විද්‍යාල භූමියට කොටු කොට ගේට්ටු වසා දමා විශාල විරෝධතාවයක් දින කීපයක් මුළුල්ලේම කරගෙන යනු ලැබීය.
මේ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තොරතුරු වාර්තා කිරීමෙන් පසුව එහි නිලධාරීන්ද ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යායට පැමිණියහ.
නමුත් ප්‍රශ්නය නොවිඳුණු තැන අවසානයේදී දැඩි බලපෑම මත සිසුන්ට ස්මාරකය ඉදි කරගැනීමට ඉඩ දී උපකුලපතිවරයාට නිහඬව සිටීමට සිදු වූ අතර මේ සම්බන්ධයෙන් කීප දෙනෙකු විසින් ආයතන කීපයකට පෙත්සම් යැවීමේ ප්‍රතිපලයක් වශයෙන් ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
මේ පිළිබදව කළ සොයා බැලීමකදී හෙළි වූයේ යාපනය විශ්ව විද්‍යාලයට අළුතින් උපකුලපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත කළින් හිටපු උපකුලපතිවරයාම පත් වීම නුරුස්සන ලද යාපනය විශ්ව විද්‍යාලයේම පිරිසක් යුද ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සම් යොමුකොට ඇති බවකි.







