අපොස සාමාන්‍ය පෙළ – 2023 විභාගය සමත්වීමේ ප්‍රතිශතය 90%ට වඩා අඩු මධ්‍යම පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගේ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂරුන් ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ය.
අදාල ලිපිය මගින් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවධාරණය කර ඇත්තේ කලාපයේ පාසල් අතරින් සාමාන්‍ය පෙළ සමත්වීම 90 % ට වඩා අඩු පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් විභාගය අසමත් වීමේ අවධානම ඇති සිසුන් විශේෂයෙන් හඳුනා ගැනීම, පෞද්ගලිකව එම පාසල් වෙත ගොස් ගුරුවරු සිසුන් සහ දෙමාපියන් සමඟ සාකච්ඡා කර පවතින තත්ත්වය මග හරවා ගැනීමට අනුගමනය කළ යුතු උපායමාර්ග සැලසුම් කිරීම කළ යුතු බවය.
අවශ්‍යය ඉගැනුම් ද්‍රව්‍ය මුද්‍රණයට සහ සම්පත් දායකත්වය ලබාදෙන පුද්ගලයින්ට ගෙවීම් සඳහා අනුමත අගයන්ට යටත්ව ගෙවීම් සිදු කිරීමට විදුහල්පතිවරු වෙත විශේෂ අනුමැතිය ලබාදී තිබෙන අතර මේ සඳහා පාසලට ලැබී ඇති ප්‍රතිපාදන භාවිත කළ හැකි බව ද ලිපියේ සඳහන් කර තිබේ.
අදාළ ප්‍රතිපාදන නොමැති නම් කලාපයේ පවතින ඕනෑම ප්‍රතිපාදනයක් මේ සඳහා භාවිත කළ යුතු බව ද අමරසිරි පියදාස මහතා දැනුම් දී ඇත.
සමත්වීම 90 % ක ඉලක්කයට ළඟා වන සියලු විදුහල්පතිවරු හා ගුරුවරුන්ට 2023 වසරේ දී විශේෂ දීමනාවක් හිමිවන බවත්, බවත් මෙම විශේෂ දීමනාව වැටුප් වර්ධක තුනකට තුල්‍ය වන විශේෂ දීමනාවක් බවත්, එය සේවා කාලය තුළ එක් වරක් පමණක් ලබා දෙන්නක් බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ.