“ඇවිදින මං තීරු හදන්න ඉවත් කළ අලි වැට වහා යළි ඉදිකරනු“, “උන්ට ජොගින් පාත්- අපට එලිපන්ට් පාත්“ “බලධාරීනි… උඹලා අපේ අලිවැට ගලවලා අලින්ට මං තීරු හැදුවාද?“ අසන සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පොලොන්නරුවේ ඇවිදින මං තීරුව සඳහා අලි වැට ඉවත් කිරීමට විරෝධය පල කළ පොලොන්නරුව ගම්වාසීන් පිරිසක් අද (26) පරාක්‍රම සමුද්‍රය වෑ කන්ද මත පිහිටි පත්තිනි දේවාලය අසල විරෝධතාවයක නිතර වූහ.
මෙසේ විරෝධතාවයේ නිරත වූයේ පොලොන්නරුව, නවනගරය පත්තිනිපෙදෙස ජීවත්වන ගම්වාසීන් පිරිසකි. අලි වැට ඉවත් කිරීමත් සමග නිතර ගම්මානවලට එල්ලවන තර්ජන ගැන ඔවුහු රටට පැවසූහ.
ආසන්නම සිදුවීම වාර්තා වූයේ පෙරේදාය. අලිවැට ගැලවූ තැනින් ඇතුළු වූ අලි තුන්දෙනෙක් පොත්ගුල් වෙහෙර පරාක්‍රමබාහු ප්‍රතිමාව ආරක්ෂා කරන යකඩ දැලත් කඩා දමා අවට ගෙවතුවල පොල් වගාවන් විනාශ කර ගොස් තිබූ ආකාරය වාර්තා විය.
ඇවිදින මං තීරු හැදීම සඳහා තමන්ගේ ජීවිතයත් ආර්ථික පදනමත් විනාශ නොකරන මෙන් ද වහාම විදුලිවැට ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද ගම්වැසි පිරිස් ඉල්ලා සිටියහ.
මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමක දී පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී.කීර්ති චන්ද්‍රරත්න පවසා තිබුණේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට මීටර් 800ක් පමණ දුරට ඉදිකර තිබූ අලිවැට ගලවා ඉවත්කර දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව දැනට මාසයකට පමණ පෙර එය ගලවා දැමූ බව බවය.
දැන් වන අලි ගම්වැදීමට පටන්ගෙන ඇති නිසා ලබන සඳදා සිට පෙර තිබූ පරිදි අලිවැට ඉදිකිරීම ආරම්භ කරන බවද ඔහු කීවේය.







