අසේල කුරුළුවංශ –
ත්‍රිරෝද රථයක ගමන් කරමින් නෙදර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අවයව පෙන්වූ තරුණයා මහනුවර සංචාරක පොලීසිය මගින් අද (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවකට ලිංගික හිරිහැර සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
පැමිණිල්ල සිදුකළ 31 හැවිරිදි විදේශීය කත පසුගිය 04 වැනි දින හපුතලේ මාගිරිතැන්නේ පිහිටි හෝටලක සිට ත්‍රිරෝද රථයකින් මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී සැකකරු මාවතගම ප්‍රදේශයේ දී මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව පොලිසීය පවසයි.
සැකකරු ඔහුගේ ත්‍රිරෝද රථය පැමිණිලිකාරිය ගමන් ගත් ත්‍රිරෝද රථයට සමාන්තරව ධාවනය කරමින් මෙම ක්‍රියාව සිදුකර තිබෙන අතර එම අවස්ථාවේ පැමිණිලිකාරිය ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කරමින් එය වීඩියෝ ගතකර ඇත. එම අවස්ථාවේ ත්‍රිරෝද රථය පදවා ඇත්තේ ඇය සමඟ මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතික මිතුරියක විසින් බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කළ විදේශික කාන්තාවන් දෙදෙනා යළි හපුතලේ මාගිරිතැන්නේ නවාතැන් ගෙන සිටි හෝටලයට ගොස් ඊයේ (16 ) එම වීඩියෝව එහි හිමිකරුට පෙන්වා ඇත.
හෝටල් හිමියාගේ දැනුම්දීම මත බණ්ඩාරවෙල සංචාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා මෙම සිද්ධියට අදාළ පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ.
අනතුරුව සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් විදානගමගේ ගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත්කර ඇත.
එම කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරි සුරවීර, උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන 8377 මදුතිසර, 93309 හැරිසන් සහ මහනුවර සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර, උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන් 47018 ඉන්ද්‍රජිත්, පොලිස් කොස්තාපල් 77459 උදයකුමාර යන නිලධාරීන් විඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තැන්ත්තා මාවතගම රෝහල පටුමගේ පදිංචි 32 හැවිරිදි අවිවාහකයෙකි. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙකු බව පරීක්ෂණ මගින් හෙළිව ඇත. සැකකරුට අයත් ත්‍රිරෝද රථයද පොලීසිය භාරයට ගෙන තිබෙන අතර ඔහු හෙට (18) මාවතගම පිලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







