පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලන්කන් ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ඩොලර් නොමැතිවීමත් ආයතනය විදින අධික අලාභ මත මෙම තත්වය නිර්මාණය වී ඇති අතර ඊට විසඳුමක් ලෙස සෞදි අරාබියේ SFD අරමුදල මගින් ඩොලර් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
සෞදි සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් සමාජ සංවර්ධන හා යටිතල පහසුකම් සඳහා මූල්‍ය සහාය සැලසුව ද රජය එම අරමුදලින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉන්ධන බිල් ගෙවීම සඳහා ඩොලර් ආධාරයක් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් රජය දීර්ඝ සහ කෙටිකාලීන යෝජනා ඉදිරිපත් කර ඇති අතර මෙම ණය ප්‍රමාණය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලියන 330 ක හිඟයක් පවතින අතර එයින් සමාගම ගෙවා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් ආසන්න වශයෙන් බිලියන 6ක මුදලක් පමණි.
නමුත් මෙම තත්ත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් වලින් නොව ඩොලර් වලින් ඉතිරි මුදල ද ගෙවන ලෙස ඉල්ලා ඇති අතර මෙම දැවැන්ත මුදල ගෙවීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අභියෝගාත්මක තත්ත්වයක් මතු කර ඇත.
එම තත්ත්වය මත මෙම සෞදි අරමුදල ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.