අනුරාධපුර පර්සි කුරුනේරු –
වෙඩි වැදීමෙන් ඉදිරි වම් පාදයට බරපතළ තුවාල ලබා, තිරප්පනේ කූරටියාව වැව පිහිටි ප්‍රදේශයේ දැඩි ලෙස අසාධ්‍යව සිටි “අග්බෝ” ඇතාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කාර්ය මණඩලයක් විසින් ප්‍රතිකාර කිරීම් අඛණ්ඩව සිදුකරන බවත් එම ඇතාගේ තත්ත්වය මේ වනවිට තරමක් සුව අතට හැරෙමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවසීය.
දඩයක්කරුවෙකු විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද බඳින කඳන් තුවක්කුවකට හසුවීමෙන් දැඩි ලෙස අසාධ්‍යව ඇතා තිරප්පනේ කුරටියාව වැව අසල ගැවසෙන බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් ඉකුත් ජුනි මස 12 වෙනිදා සිට එම ඇතාට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුහ.
තිරප්පනේ ප්‍රදේශයේ සිටින විශාලතම ඇතාවන එම සත්වයා අවුරුදු 35-40 ත් අතර වයසේ පසුවෙයි. එම ඇතාගේ උස අඩි නවය හමාරක් පමණ වන බවත් එම සත්වයාගේ දළ යුගල අඩි තුනක පමණ දිගින් යුක්ත වන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි..
එම ඇතාට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රදේශයේ පිරිස් එම ස්ථානයට රැස්වීමෙන් වලකින ලෙසත් වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි. ඇතාගේ තත්ත්වය හා හැසිරීම් ක්‍රියාවලිය පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරන්තර පරික්ෂාවට ලක්කරමින් සිටින බවත් පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවසිය..