මනම්පිටිය නිමල් ජයරත්න –
රජය සහ ගොවි සංවිධාන වී කිලෝවක් සඳහා වැයවන පිරිවැය වෙන වෙනම ගණනය කර ඇති බවත්, මේ දෙක අතර යම් වෙනසක් ඇති බැවින් අතරමැදි මිළකින් මිල තීරණය කර ඉදිරි දින කිහිපය තුළ ගොවියාට සාධාරණ සහතික වී මිලක් ලබාදෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
ඔහු පවසන්නේ නැවත රට තුළ මෙවැනි සහල් අර්බුදයක් ඇති නොවන බවට සහතිකවන බවය.

ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි එම අදහස් පලකර සිටියේ ඊයේ 02 හවස පොළොන්නරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්ව්මිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මෙසේද කීය
පැවති කිසිම ආණ්ඩුවක් මගින් ගොවීන්ට සහතික වී මිළක් දී ගොවීන්ගෙන් වී මිළදී ගත්තේ නෑ. පාරිභෝගිකයින්ටද සාධාරණයක් වන විදිහට හාල් මිළ තීරණය කළෙත් නෑ. පැවති හැම රජයකින්ම ගොවියාත් පාරිභෝගිකයාත් කබලෙන් ළිපට වැටුනා.
ඒ අතරෙ මහ මෝල් හිමියන් විශාල ධනයක් වගේම ලාභයක් අත්පත් කර ගත්තා. විශේෂයෙන්ම කෘෂිකර්ම නිලධාරීන් මේ කන්නයේ වී කිලෝවක් නිෂ්පාදනය සඳහා වැයවුනු මුදල සම්බන්ධයෙන් මුදලක් ඉදිරිපත් කරලා තියෙනවා.
ඒ වගේම ගොවීන්ගේ පැත්තෙනුත් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න වැයවෙන මිළක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ දෙක අතර යම් වෙනසක් තියෙනවා. අපි කතා කරමින් ඉන්නවා ඒ මිළ දෙක අතර මිළකින් ගොවියාට සාධාරණ වන විදිහට වී සඳහා මිල තීරණය කරන්න.
පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ විශාල වී ගබඩා ප්‍රමාණයක් සූදානම් කරමින් පවතිනවා වී මිළදී ගැනීම සඳහා, ඒ වගේම විශාල වී මෝල් ප්‍රමාණයකුත් වී කෙටීම සඳහා සූදානම් කරලා තියෙනවා. වී වේලීම සඳහා විශාල ඩ්‍රයර් ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා.
අපි මේ වෙලාවෙ ගොවි ජනතාවට කියනවා වාරි ජලය පොහොර ඔබලාට නොමිළේ ලබා දුන්නට ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව විශාල බදු මුදලක් වැය කරලා තියෙනවා. ඒ නිසා අපි ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා වියළන ලද වී වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රජයට දෙන්න කියලා.







