ප්‍රබල කරුණු තුනක් මුල්කර ගනිමින් අද (21) පැවැත්වීමට සැලසුම් කර තිබූ දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය පරිපාලනයේ එකග වීම් මත නතර කල බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.
“ මගී ජනතාවගේත් දුම්රිය සේවකයන්ගේත් සෞඛ්‍යාරක්ෂාවට රජය මුල්තැන දියයුතු ය. පොරොන්දු ඉටුවන්නේදැයි බලා සිටින්නේ මෙම දින කිහිපය පමණයි.. එසේ නොවුන හොත් රට පුරා දුම්රිය ස්ථානාධිපතිවරු වැඩවර්ජනය කිරිමට සූදානම්..” වැඩ වර්ජන සැලසුම අත්හිටුවමින් සභාපතිවරයා කීවේය.
මාසයක් නතරකර දමා තිබූ දුම්රිය විෂබීජහරණය කිරිමෙන් තොරව ධාවනයේ යෙදවීම, දුම්රිය සේවයින් සඳහා එන්නත් ලබා නොදීම සහ පොරොන්දු වූ මුව ආවරණ කට්ටල අත්වැසුම් විෂබීජනාශක දියර ලබා නොදීම යන කරුණු මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය දියත් කිරිමට එම සංගමය සැලසුම් කර තිබිණි. පරිපාලනය සමග ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවෙදි මෙම ඉල්ලීම් ඉටුකර දීමට පොරොන්දු වීම මත වැඩවර්ජනය තාවකාලිකව නතර කොට තිබේ.
“ඇත්තෙන්ම මෙම ඉල්ලීම් සේවකයන් හෝ ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලා සිටිය යුතු දේවල් නොවේ. මෙම පහසුකම් සහ එන්නත් ලබා දීම් දුම්රිය පිරිසිදු කිරිම් රජයේ වගකීමක්. රජයේ වගකිව යුතු සේවාවක් ලෙස මේවා නිරන්තරයෙන් සිදුවිය යුතු දේවල්“ යැයිද සභාපතිවරයා කියා සිටියේය.