ලලිත් චාමින්ද –
ගාල්ල මහ නගර සභාවේ අද පැවැත්වුන විශේෂ මහා සභා රැස්වීමේ දී සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගෙන පමණක් නොව, නගරික කොමසාරිස්වරිය ඇතුළු නගර සභා කාර්ය මණ්ඩලය ද ඉලක්ක කරගනිමින් ජල ප්‍රහාර එල්ල කර සිදුකළ අශිෂ්ට හැසිරීම මේ වනවිට බරපතල විවේචනයකට ලක් වෙමින් තිබේ.
මෙම අශිෂ්ට ජල ප්‍රහාරය ආරම්භ කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයක වීම ද විශේෂය.
ජාතික ජන බලවේගයට බලය හිමි ගාල්ල නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද (30) සභාව ආරම්භ වූ අවස්ථාවේ සිට එහි කටයුතුවලට බාධා කළහ. බාධා කිරීමට හේතුව වූයේ පසුගිය සභාවාරයේ අය-වැය සම්මත කිරීම නීති විරෝධී බව පවසමිනි. ඔවුන් කීවේ නගර සභා නිලධාරීන් නිසි ලෙස ඡන්දය ගණනය කිරීම සිදුකර නැති බවය.
ඉකුත් සභාවාරයේ දී අය -වැයට පක්ෂව ඡන්ද 21ක් සහ විපක්ෂව ඡන්ද 15ක් ලෙස වැඩි ඡන්ද 06කින් අය – වැය සම්මත වී තිබිණි. මෙම සම්මත වීම සම්බන්ධව පසුගිය සභාවාරයේ දී ද වියරුව හැසුරුන විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී නාගරික කොමසාරිස්වරිය ද බලහත්කාරයෙන් රඳවාගෙන නගරාධිපති අසුනට විපක්ෂ මන්ත්‍රීවරයෙක් හිඳුවා ඡන්ද විමසීමක් කළහ.
එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ සිටියේ නැත. අය – වැය සම්මත වූ පසු තමන් සභාව කල් තබා පිටවී ගිය බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
අද සභාව රැස් වූ අවස්ථාවේ දී විපක්ෂයේ නගරසභා නියෝජිතයින් තමන්ගේ මේසය මත ඇති ජල බෝතල් ගෙන විවෘත කර මුලින්ම ජල ප්‍රහාර එල්ල කරන්නේ නගර සභා නිලධාරීන් වෙතය. එම ජල ප්‍රහාරවලින් නිලධාරීන් සතුව තිබූ ලිපි ගොනු තෙත් වී තිබිණි.
එම නොසන්සුන් අවස්ථාවේ දී ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ කාරක සභා අවස්ථාව නිවේදනය කළේය. අනතුරුව පැය භාගයකට සභාව කල් තැබුවේය.







