මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද අසේලපුර ගම්මානයේ ඉකුත් 07 වෙනිදා රාත්රියේදී විදුලි සැර වැදීමෙන් මියගිය වන අලියාගේ සිරුරේ අවසන් කටයුතු දින හතරක් යන තෙක් සිදු නොකිරීම හේතුවෙන් සිරුර දැඩි ලෙස නරක් වීමෙන් හමන දැඩි දුර්ගන්ධය නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව අසේලපුර ගම්වාසීහු සඳහන් කරති.
ගම්මානයේ ගොවි ගොවියෙක් ගෙවතු වගාව අලින්ගෙන් රැක ගැනීම සඳහා අටවා තිබු විදුලි රැහැන් පද්ධතියට වන අලියා ගැටීම හේතුවෙන් ඉකුත් 07 වෙනිදා රාත්රියේදී මේ සතා මියගිය බව ගම්වාසීහු කියති.
මියගිය එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පවත්වා අවසන් කටයුතු කිරීමට වැලිකන්ද වනජීවී නිලධාරීන් මෙතෙක් ක්‍රියා නොකිරීම හේතුවෙන් එම වන අලියාගේ සිරුර සම්පූර්ණයෙන් නරක් වී ප්‍රදේශය පුරා දැඩි දුගඳක් හමමින් තිබේ.
,ඒ අවට පවුල්වලට ආහාර පවා ගැනීමට නොහැකි තරමට මැස්සන් බෝවි සිටින බව අසේලපුර ගම්වාසීහු අප කළ විමසුමක දි පැවසුහ.
අලියාගෙන් වහනය වන දැඩි දුර්ගන්ධය නිසා අවට පවුල් පහක් පමණ ඥාතීන්ගේ නිවාසවලට ගොස් ඇති බවද ගම්මුන් කියති.
ගම්වාසින් පවසන්නේ මේ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමේදී පවසා ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකු පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරන තෙක් අවසන් කටයුතු කිරීමට නොහැකි බවය.
අප මේ සම්බන්ධව විමසීමට වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ.වනසිංහගේ දුරකථනය සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ ගත්තද එම උත්සාහය අසාර්ථක විය.







