පක්ෂ නායකයින් සහ තනතුරු ගත් කීප දෙනා මොනවා කීව ද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් නොවුනොත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී සමගි ජන බලවේගය නිර්මාණය වූ අයුරින්ම සමගි ජන බලවේග පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂය වටා රොක් වීම වළක්වනු නොහැකි වනු ඇතැයි හරීන් ප්‍රනාන්දු පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී වැඩ භාර ගනිමින් හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.
රටේ සියලුම දේශපාලන පක්ෂ එකට ගොනු කර එක බලවේගයක් නිර්මාණය කිරීම මෙම තනතුරේ වගකීමය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් දහසක් පැවැත්වීමේ වගකීම ද හරීන් ප්‍රනාන්දු වෙත පැවරී තිබේ.
හරීන් ප්‍රනාන්දු සිය වගකීම භාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.
අලුත් පියවරක් මේක. එක්සත් ජාතික පක්ෂය අද අලුත් වැඩසටහනක් ආරම්භ කළා. පක්ෂ නායක තුමා මට වගකීමක් භාර දුන්නා. අවුරුද්දකින් පස්සේ මම මේ දේශපාලනයට නැවත ඇවිත් වැඩ කරන්න අදහස් කළේ. මේ කාලය පුරාම හිතුවා මොකක්ද කළ යුත්තේ කියලා.
එක්සත් ජාතික පක්ෂය කියන්නෙ මොකක්ද?, මොනවද කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙ වටිනාකම මොකක් ද?… එදා නිදහස දිනා දීමට ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය අද තවත් කර්තව්‍යයකට මුහුණ දීලා තියනවා.
එක විශ්වාසයක් තියනවා. සජබ සමග මූලිකව කටයුතු කරන්න අපේ සභාපති තුමත් මහලේකම් තුමත් විශාල වශයෙන් කටයුතු කරනවා… ඔවුන්ට ඒ සහයෝගය ලබා දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයො තමයි සජබ නිර්මාණය කළේ. හැබැයි අද ගමේ ඉල්ලීමක් තියනවා සජබ යූඑන්පී එකතු වෙන්න කියලා.
පක්ෂ නායකයො, එහෙම නැතිනම් තනතුරු ගත්ත අය මොන මතයක් දරුවත් ගමේ මිනිහගේ ඉල්ලීමක් තියනවා එක්සත් ජාතික පක්ෂය සහ සජබ එකතු වෙන්න කියලා. ඒ නිසා මම හිතනවා හැමෝම ඒකට කටයුතු කරයි කියලා.
එහෙම නැතිනම් එදා එක්සත් ජාතික පක්ෂය ගිහින් සජබ හැදුවා වගේ සජබ පාක්ෂිකයො නැවත වරක් එක්සත් ජාතික පක්ෂය ඇතුළට ඒම වළක්වන්න හම්බවෙන එකක් නෑ. ඒ නිසා අපි හිතනවා නායකත්වය මේ සම්බන්ධව තීන්දු ගනී කියලා.
ඒ වගේම අපි විශ්වාස කරනවා දැවැන්ත බලවේගයක් සඳහා පොදු විපක්ෂයක් නිර්මාණය කරන්න ඕන කියලා. අද දවස සියලුම පක්ෂ යනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඩාලි රෝඩ් කාර්යාලයට. ඔවුන්ම කිව්වා බදාදා තියන රැස්වීම සිරිකොතට ගේන්න කියලා.







