ආණ්ඩුව කූඨ ලෙස ගෙන ඒමට උත්සාහ කරන විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමේ යෝජිත කෙටුම්පත කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන බවත් අදාල යෝජනාව වහාම ඉල්ලා අස්කරගන්නා ලෙසත් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ආණ්ඩුවට දන්වා ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය දන්වා සිටින්නේ කිසිදු උපදේශනයකින් තොරව අහඹු ලෙස කෙටුම්පත් කර ඇති එම ලියවිල්ලේ රටේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන භයානක විධිවිධාන අඩංගු බවය.
විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කැබිනට අනුකමිටුව සකස්කළ ලියවිල්ල පසුගිය දා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට ලබාදී තිබුණේ ඔවුන්ගේ මතය විමසමිනි.
මෙය ක්‍රියාත්මක කළහොත් එමගින් මාධ්‍ය අවකාශය සීමා කරන, අදහස් ප්‍රකාශ කිරීමට, සිතීමට හා හෘද සාක්ෂියට බලපෑම් කරන අඳුරු දිනයක් උදාවනු ඇතැයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පෙන්වා දෙයි.
ඔවුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පමණක් පත් කරනු ලබන සහ ආණ්ඩුවේ පාලනය යටතේ පත් කෙරෙන මාධ්‍ය නියාමන කොමිසම රටේ ස්වාධීන මාධ්‍ය සම්බන්ධයෙන් හානිකර නියාමන යාන්ත්‍රණයක් සහ ප්‍රවේශයක් බවයි.
එය මෙරට කම්කරු නීතිවලටද පටහැනි අතර මාධ්‍ය ආයතන හිමියන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් නීත්‍යානුකූල අපේක්ෂාවන් නොසලකා හැරීමක් බව ද එහි සඳහන් වේ.
සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහස, සමානාත්මතාවයට ඇති අයිතිය, ප්‍රකාශනයේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති කරුණු ගණනාවක් සමග ප්‍රතිවිරෝධතා කිහිපයක් මෙම කෙටුම්පතට ඇතැයි විද්‍යුත් විකාශකයින්ගේ සංගමය අවධාරණය කරයි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍යයට සහ සිව්වන කුළුණ පිළිබඳ සංකල්පයට අහිතකර බලපෑමක් ඇති කරන බව ඔවුන්ගේ මතයයි.
යෝජිත පනත් කෙටුම්පත මාධ්‍ය සංවිධානවල ප්‍රගමනයට සැලකිය යුතු අවදානමක් ඇති කරන බවත්, සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම අනතුරේ හෙළන බවත් ඔවුන් ජනමාධ්‍ය අමාත්‍යවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.







