ශ්‍රියානි විජේසිංහ –
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් සහ පෙතිවලත් රුධිර පීඩනය ඇතුළු බෝනොවන රෝගයන්ට ලබාදෙන ඖෂධයන් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක උග්‍ර හිඟයක් මේ වන විට මතුව ඇති බවත් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
ඇතැම් අවස්ථාවන් වලදී ඖෂධ රජයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉල්ලා සිටියද එම ගබඩාවලද ඖෂධ නොමැති බවට බන්ධනාගාර රෝහලවෙත දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.
නිසි වේලාවට ඖෂධ නොමැතිව රෝගයන් උත්සන්නවන අවස්ථාවන් වලදී හෝ වැඩිදුර ප්‍රතිකාරයන් සදහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලවෙත යැවිය යුතු රැඳවියන් ජේලර්වරු නොමැති වීමෙන් දින ගණන් ප්‍රමාද වී ජීවිත අවදානමට ලක් වූ අවස්ථා ගැන දැනගන්නට තිබේ.
නමුත් මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ පැතිර ගිය සරම්ප රෝගය යම්තාක් දුරට පාලනය කර ඇති බවත් අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අවම බැවින් එය නැවතත් පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ඊයේ බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ බන්ධනාගාර අධ්‍යක්ෂ ජනාරාල්වරයාගෙන් ඉල්ලා ඇති සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය ලේඛනය අනුව පෙනී ගොස් තිබුණේ බන්ධනාගාරය තුළ සබන් කැටයක්වත් නොමැති බවය.