ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වූ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටට ගෙන්වා තිබූ ඉමියුනොග්ලොබින් එන්නත් තොගයෙහි ලේබල්වල සඳහන් නිෂ්පාදිත ඉන්දියානු සමාගම ඖෂධ නිෂ්පාදනය නොකරන සුදු ලූනු ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන ආයතනයක් බව පසුගිය 10 දා ඖෂධ නියාමන අධිකාරිය විසින් තහවුරු කරගෙන තිබිණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ ඖෂධයෙහි ලේබල්හි සඳහන් සමාගම සමඟ විද්‍යුත් පණිවුඩ හුවමාරුවකින් මේ බව තහවුරු කරගත්තේය. එවැනි ඖෂධයක් ලංකාවට හෝ වෙනත් රටකට එම සමාගමෙන් අපනයනය කර නැති බව සමාගම තහවුරු කර තිබිණි.
ඉමියුනොග්ලොබින් ඖෂධ තොගය ගෙන්වූ සමාගම මඟින් රිටියුක්සිමැබ් නමැති පිළිකා සඳහා භාවිතා කරන එන්නත් 2250ක තොගයක් ද ගෙන්වා ඇති බවට අනාවරණය වී ඇත.
අදාළ ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එය ද ව්‍යාජ ලෙස ලියකියවිලි සකස් කර ඉමියුනොග්ලොබින් ඖෂධය ගෙන්වූ ආකාරයට ගෙන්වා ඇති බවට තහවුරු වූ බව ද ඖෂධ නියාමන අධිකාරිය දක්වයි.







