දිනසේන රතුගමගේ –
වවුනියාවේ තෝනිකල් ප්රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට ප්රහාරයක් එල්ල කළ මැර කණ්ඩායමේ ප්රධාන සැකකරු පොලිසිය විසින් 3 දා වවුනියාව මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව සැකකරුව මේ මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ත්රාත්වරයා නියෝග කොට තිබේ.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරයන් පස් දෙනා ගෙන් ලබුණු තොරතුරකට අනුව ප්රධාන සැකකරුව 2 දා රාත්රී අත් අඩංගුවට ගෙන ඇති අතර මීට පෙර අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාද 2 දා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව අධිකරණය නියෝග කොට තිබේ.
පසුව අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු වවුනියාව කූමාන්කුලම ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු වවුනියාවේ පුද්ගලයෙකුගෙන් කොන්ත්රාත්තුවක් ලබා ගෙන තිබුණේ වවුනියාව ඕමන්ත ප්රදේශයේ ග්රාම නිලධාරිනියක සමග අනියම් පෙම් සබදතාවයක් පවත්වා ගෙන යන බව කියන පුද්ගලයෙකු ඝාතනය කිරීම පිණිසය. නමුත් එම උත්සාහයේදී උපන් දින සාදයට සහභාගී වී සිටි පුද්ගලයා සමග බිරිඳද ඝාතනයට විය.
පොලිසිය පැවසුවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, පිළිස්සුම් තුවාල ලැබූ ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වනදා යාපනය පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවය.
වවුනියව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







