වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (24) දින “සූම්” ඔස්සේ රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කළේය.
රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අරලියගහ මන්දිරයේ සිට මෙම නියෝගය ලබා දුන්නේය.
මෙහි දී අදහස් පළ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , එසේ නිදහස්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට දැනුම් දුන්නේය.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත්කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම නිලධාරින් විසින් දැරිය යුතු බවට ද මෙහි දී අවධාරණය කෙරිණි.
දේශීය බඩ ඉරිඟු ඵලදාව ලැබෙනතුරු දැනට පවතින ක්‍රමවේදයට විදේශීය වෙළඳ පොළෙන් තවදුරටත් බඩ ඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීමට රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් කළ ඉල්ලීමට ද මෙහි දී අනුමැතිය හිමිවිය.
මෙම හමුවට අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ ,රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ඩී.බී හේරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ආහාර කොමසාරිස් ජනරාල් ජේ. ක්‍රිෂ්ණ මූර්ති, ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්,දෙපාර්තමේන්තු සහ සමාගම් ප්‍රධානීන් හා අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙක් එක්ව සිටියහ.







