සිව් වයස් සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඒ සඳහා මුදල් ගෙවිය නොහැකි දරුවන් වෙනුවෙන් රජය මැදිහත් වන අතර අවශ්‍යතාව මත ඉඩකඩ පවතින ප්‍රාථමික පාසල්වල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පැවැත්විය හැකි බවත් වැසී යාමේ අභියෝගයකට මුහුණ පා ඇති පාසල්වලට ද එය යම් විසඳුමක් වන බවත් පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමේ මූලික ම පියවර වන්නේත් මෙරට දරුවන්ගේ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධනය යැයි ද කී ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පැවති වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
එහි දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට සමාන්තර ව විධිමත් ලෙස ප්‍රමිතිගත කිරීමේ දී ‘පෙරපාසල යනු පාසල් යාමට පෙර යන තවත් පාසලක්’ ය, යන ආකල්පය සහමුලින් ම වෙනස් කළ යුතු ව ඇති අමාත්‍යවරයා පැවසුවේය.







