ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm EL Sheikh)හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ එරට වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් සහභාගී වීම අන්ර්ජාතික මාධ්‍ය තුළ දැඩි කතාබහක් උපදවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකරමින් විමසා සිටියේ එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට සුදුකම් සහිත පුද්ගලයෙක් මේ පාර්ලිමේන්තුවේ නැද්ද යන්නය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබිණි. මාලදිවයින් කතානායකවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් මුලින්ම විවේචනය ඉදිරිපත් කළේ එරට හිටපු නීතිපති ආචාර්ය මොහොමඩ් මුනව්වර්ය.
කතානායකවරයා ලෙස මාලදිවයිනේ ජනතාවගෙන් නඩත්තු වන අතරේ, වෙනත් රටක් නියෝජනය කිරීම ගැන ඔහු නෂීඩ්ව ප්‍රශ්න කළේය.
කෙසේ නමුත්, COP27 සමුළුවට සහභාගි වීම සඳහා නෂීඩ් සිකුරාදා උදෑසන මාලදිවයිනෙන් පිටත්ව ගිය අතර, ඔහුගේ සංචාරය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව එදින ම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නෂීඩ් අදාල සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයෙක් බවය.
මේ අතර, අදාල සමුළුව සඳහා සහභාගි වීමට මාලදිවයින් රාජ්‍ය නියෝජනය කරමින් එරට උප ජනාධිපති ෆයිසාල් නසීම්ගේ නායකත්වයෙන් යුතු දූත කණ්ඩායමක් ඊජිප්තුව වෙත ඉකුත් සිකුරාදා පිටත්ව ගියේය.
මෙම සමුළුව, නොවැම්බර් 6 සිට 18 දක්වා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm EL Sheikh)හි පැවැත්වෙන අතර, මාලදිවයින් කතානායකවරයා ඊට සහභාගි වන්නේ, මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර කාලගුණ උපදේශකවරයා ලෙස බව මාලදිවයින් පාර්ලිමේන්තුව නිවේදනය කර තිබිණි.







