ශ්‍රියානි විජේසිංහ –
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අධිකරණය කටයුත්තකදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගේ වෛද්‍ය වාර්තාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේ සහ ලංකාවේ වෛද්‍යවරුන් සංසන්දනය කරමින් ලංකාවේ වෛද්‍යවරුන් හොරු යැයි ප්‍රකාශ කිරිම සමස්ථ වෛද්‍ය වෘත්තියටම කළ නිගාවක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා සිටියි.
වෛද්‍යවරුන්ට කළ මෙම බරපතල චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා සහ නීතීඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.
වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගුණාත්මකභාවය හෝ සේවාව සොයා බැලීමට මේ රටේ උසාවිය, නීති පද්ධතිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව , සෞඛ්‍ය අමාත්‍යංශය තිබෙන බවත් වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය තීරණය කිරීමට ආයතන සංග්‍රහය , රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබෙන බවත් පෙන්වා දෙන වෛද්‍ය විජේසිංහ එසේ තිබියදී හිතුමතේට අධිකරණය තුළ අසත්‍ය ප්‍රකාශ කිරිම බරපතල කාරණයක් බව පෙන්වාදේ.
රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට අති විශාල කැපකිරීමක් කරන වෛද්‍යවරුන්ට කළ බරපතල අපහාසයක් බවත් මෙවැනි ප්‍රකාශයන් ජනගතවීම හරහා ජනතාව තුළ මෙම සේවාව පිලිබඳව තිබෙන්නා වූ විශ්වාසය බිඳ වැටීමට හේතුවක්වන බවත් හෙතෙම පෙන්වාදේ.
රටේ පිළිගත් එක් වෘත්තීය කණ්ඩායමක් තවත් පිලිගත් වෘත්තීය කණ්ඩායමක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයන් කිරිම වෘත්තීය කණ්ඩායම් දෙක අතර දැඩි ලෙස මතභේදකාරී තත්ත්වයන්ට හේතුවක් වන බවද සංගමය අවධාරණය කරයි.







