සුමිත් පොතුපිටිය –
පානදුර නිවසක් කොල්ල කෑමට ගොස් නිවෙස් හිමියා ඝාතනය කර මළසිරුර කෙසෙල් පඳුරක් අස්සේ සැඟවූ ඝාතකයා අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.
සැකකරු මොරටුව ප්‍රදේශයේ පාළු නිවෙසක සැඟව සිටියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර ඇතුළු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සොරාගත් ජංගම දුරකථනය , රූපවාහිනී යන්ත්‍රය සහ ගෑස් සිලින්ඩරයද සොයාගෙන තිබේ.
සැකකරු නිවස කොල්ල කෑමට එන අවස්ථාවේ දී මියගොස් ඇති පුද්ගලයා ඔහු දැක කෑ ගසා ඇති අතර , එහිදී සැකකරු ඔහුට පහරදී ඇදසිටී සරමෙන් ගෙල සහ මුහුන සිරකර ගෙන සිට පසුව ඔසවා කෙසෙල් පදුරට දමා කෙසෙල් කොල වලින් වසා දැමු බවට සැකකරු ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බව පොලිසිය කීය.
ඉන්පසු සැකකරු නිවසේ පිටුපස දොරකඩා ඇතුළුව රූපවාහිනී යන්ත්‍රය සහ ගෑස් සිලින්ඩර සොරාගෙන ගෝනියක දමාගෙන පිටව ගොස් ඇති බවද පොලිසිය පැවසුවේය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකරගේ මෙහෙයවීමෙන් වැටලීම කර තිබේ.







