අද සිට ක්‍රියාත්මකවන පරිදි ආනයනික භාණ්ඩ රැසක වරණීය හා සාමාන්‍ය තීරු බද්ද මත සියයට සීයක අධි භාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම අධිභාරය හඳුන්වා දී ඇත්තේ විදේශ විනියම ආරක්ෂා කිරීම සඳහා මාර්තුමස 10 වැනිදා සිට භාණ්ඩ 369ක් ආනයනය සීමා කරමින් රජය හඳුන්වා දුන් බදු සංශෝධනය හා භාණ්ඩ ගෙන්වීම සඳහා නිකුත් කළ ආනයනික බලපත්‍ර ක්‍රමය අහෝසි කරමිනි.
මෙම අධිභාරය පැනවෙන්නේ ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට අය කරන වරණීය සහ සාමාන්‍ය තීරූ බද්දට අමතරව දැනට එම භාණ්ඩ සඳහා අය කරන සමස්ථ බද්දේ වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙසය.
ඒ අනුව ආනයනික චොකලට් නිශ්පාදන සඳහා දැනට පනවා ඇති බදු මත සියයට 200ක අධිභාරයක් ද, ආනයනික චීස් ඇතුළු කිරි නිශ්පාදන සඳහා දැනට පනවා ඇති බදු මත සියයට 100ක අධි භාරයක් ද, පැනවේ. ඒ අනුව මෙතෙක් චීස් කිලෝග්‍රෑමයක් ආනයනය කිරීමේ දී පැනවූ රුපියල් 1000ක බද්ද රුපියල් 2000 දක්වා ඉහළ නැන්වේ.
ආනයනික ඇපල් සහ මිදි කිලෝග්‍රෑම් එක්ක මත සියයට සීයක අධිභාරයක් පැනවේ. ඒ අනුව ඇපල් සහ මිදි කිලෝවක් සදහා රුපියල් 300ක බද්ද රුපියල් 600 තෙක් ඉහළ නන්වා ඇත. එමෙන්ම ආනයනික දොඩම් කිලෝවක් මත පැනවූ රුපියල් 200ක බද්ද රුපියල් 600 දක්වා ඉහළ දමා තිබේ.
මත්පැන් හා බීම වර්ග, සිගරට් දුම්කොල ආශ්රිත නිශ්පාදන මත පවතින බද්දට අමතරව සියයට 100ක අධිභාරයක් පැනවීමට කටයුතු කර ඇත.
ඇඟලුම්, රෙදි පිළි, ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ රැසක් මත සියයට 100ක අධි භාරයක් පනවා තිබේ. ඇතැම් පළතුරු, ධාන්‍ය වර්ග, පිටි ආශ්රිත ආහාර මත සියයට 75ක අධි භාරයක් පනවා ඇත.
සුවඳ විලවුන් ඇතුළු රූප ලාවන්‍ය නිශ්පාදන, පාවහන්, මුඛ සෞඛ්‍ය නිශ්පාදන මත සියයට 75ක අධි භාරයක් පනවා තිබේ.
වීදුරු භාණ්ඩ, සනීපාරක්ෂක උපකරණ, මුලුතැන්ගෙයි උපකරණ, ගෘහ භාණ්ඩ බදු මත තැබූ අධි භාරය සියයට 50 සිට 75 අතර වේ.
අදාල අධි භාරය අද සිට මාස හයක කාලයක් බල පැවැත්වෙන බව රජය පවසයි.







