ශ්‍රියානි විජේසිංහ –
රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ.චංග් (Julie J.Chung) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එකඟතාවක් පළ කර ඇත.
මෙම එකඟතාව පළ කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවු අවස්ථාවේදීය.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත් එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව, අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනියව දැනුවත් කර ඇත.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා රජයන්, රජයන් අතර සාකච්ජා කොට මෙරටට අත්‍යවශය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව ද පැවසී ය.
මින් පෙර අවස්ථාවන් වල දී මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ඇමරිකානු රජය ලබා දුන් සහාය සිහිපත් කල ඇමතිවරයා ඇමරිකාවේ පරිත්‍යාගයක් ලෙස 1973 වසරේ දී මෙරට ස්ථාපිත ත්‍රීපෝෂ ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ දියුණුව පිළිබඳව ද ඇමරිකානු තානාපතිනියට පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අනාගත වර්ධනයන් ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික, දැනුම සහ භෞතික වශයෙන් ද ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් (Julie J.Chung) මෙහි දී අවධාරණය කර ඇත.







