පළමු විස්සයි 20 තරගය කඩුළු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. එය පහසු ජයග්‍රහණයක් ලෙස දිස්වන්නේ පීඩනයකින් තොර විස්සයි විස්ස තරගයක ගැබ්වන ජවය සහ තරගකාරී ස්වරූපය ගිලිහී ගිය තරගයක් වු බැවිනි.
පල්ලේකැලේ ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. තරගයේ ටිකට්පත් අලෙවිය නිමා වී තිබුණේ දිනකට පෙරය. ක්‍රීඩා ලෝලීහු අවට ගොඩනැගිලි වහළ මත, ගස් උඩ ඉඳගෙන තරගය නැරඹූහ.
කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දු ඕවර 20 තුළ රැස් කළේ ලකුණු 154කි. ආරම්භක පිතිකරු පර්වේස් හොසසයින් ඉමෝන් ලකුණු 38කි මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32කි. මේහිඩි හසන් මිරාස් ලකුණු 29කි. ටන්සින් හසන් ලකුණු 19කි. ශමීම් හොසේන් පන්දු 05ක දී ලකුණු 14ක් ලබා නොදැවී කඩුල්ලේ සිටියේය. ලකුණු 150 සීමාවෙන් උඩට බංගලාදේශ කණ්ඩායම රැගෙන යන්නේ ෂමීම් හොස්සයින් සහ මොහොමඩ් නයිම්ය.
පන්දු යැවීමේ දී ශ්‍රි ලංකා පන්දු යවන්නෝ වගකීම් සහිතව සිය භූමිකාව කළහ. මහීෂ් තීක්ෂණ කඩුළු 02ක් ලැබුවේය. නමුත් ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 37ක් ලබා දුන්නේය. දසුන් ශානක ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත විය. ඔහු සිය පන්දු ඕවර 04 තුළ පිතිකරුවන්ට ලකුණු නොදී දැඩි පීඩනයක් එල්ල කළේය. ඔහුගේ පන්දු ඕවර 4ට ලබා ගන්නේ ලකුණු 22කි. එක් කඩුල්ලක් ලැබුවේය. ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු ඕවර 4ට ලකුණු 25ක් පමණක් ලබා දී කඩුල්ලක් දවා ගත්තේය. නුවන් තුෂාර ලකුණු 32ට කඩුල්ලක් ලැබුවේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් බංගලි පන්දු යවන්නන්ට ගැහුවේ වඩාගෙනය. පැතුම් නිශ්ශංක දැවී යන්නේ ලකුණු 42ට ය. ඔහු 42 ලබා ගන්නේ පන්දු 16ක් තුළය. හතරේ පහර 5කි. හයේ පහර 3කි. පළමු කඩුල්ල බිඳී යනවිට ලකුණු 78කි. වැය වී තිබුණේ පන්දු ඕවර 4.4ක් පමණි. ප්‍රේක්ෂකයින් හිතුවේ පන්දු ඕවර 10ක් නිමා වෙන්නත් පෙර තරගය නිමාවන ලකුණුය.

එහෙත් ඉන් අනතුරුව ක්‍රීඩාව වඩාත් සංයමයකින් ගොඩනගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් තීන්දු කරන තිබුණ බව පෙනුනි. පන්දු ඕවර 20ක් තියනවා නම් හදිසිස්යක් අහවල් දේකට දැයි සිතුවා සේ ක්‍රීඩා කරන ආකාරය ඉන් අනතුරුව දිස් විය. පැතුම්ට නොදෙවෙනි වේගයකින් ආරම්භය ලබා ගත් කුසල් පැතුම්ගේ දැවී යෑමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සිය පිතිකරණ රටාව වෙනස් කරගෙන ටෙස්ට් තරගයක ක්‍රීඩා ලෙස හිමින් සැරේ ලකුණු රැස් කරන්ට වුයේය. ඔහු දැවි යන්නේ ලකුණු 73ක දීය. මුල් ආරම්භය කොතරම් වේගවත වී දැයි කිවහොත් දෙවැනි අර්ධයේ හිමිහිට පිතිකරණය කරගෙන ගියත් ලකුණු 73 දී දැවි යන විට එම ලකුණු ප්‍රමාණය ලබා ගන්නට ඔහුට වැය වී තිබුණේ පන්දු 51ක් පමණි.
තරගයේ දී වූ අලංකාරවත්ම පන්දු රැකීම සිදුවන්නේ කුසල් මෙන්ඩිස් දැවී ගිය අවස්ථාවේ දී ය. මොහමඩ් සයිෆුඩින්ගේ පන්දුවක් කුසල් ගේ පිත්තේ පිටත දාරයේ වැදී හිසට ඉහළින් ඇදී යනවිට අහසට පැන තමන් පසුකර යන පන්දු උඩපන්දුවක් සේ තනි අතින් රැක ගන්නා ෂමීම් හොසේන් ගැන ජාත්‍යාන්තර විචාරකයෝත් වැඩි අවධාරණයකින් කතා කළහ.
කුසල් ජනිත් පන්දු 25ක දී ලකුණු 24ක් ලබා දැවී ගියේය. ඒ වනවිට මුලු ලකුණු සංඛ්‍යාව 120කි. පන්දු ඕවර 12.5ක් ගොස් තිබිණි.
කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු තරගය නිමා කරන්නේ අවිශ්ක සහ චරිත්ය. චරිත් ලකුණු 6කින් ජයග්‍රහණය සටහන් කරන්නේ 19 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දීය. පන්දු ඕවරයකට කලින් තරගය නිමා විය. පන්දු යැවීමේ දි මොහොමඩ් සයිෆුඩින්, මෙහිදි හසන් මිරාස් සහ රිෂාඩ් හොසේන් කඩුල්ල බැගින් ලැබූහ.
තරගාවලියේ ඉතිරි තරග දෙක දඹුල්ලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.







