දිනසේන රතුගමගේ –
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් කොඩිගාමම් ඌරුමට්ටු ප්රදේශයේදී අද (12) අළුයම ටැක්ටරයක ගැටීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් හතර දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන්ගෙන් හතර දෙනෙකු චාවාකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.
තුවාල ලබා ඇත්තේ බස් රථයේ හා ටැක්ටරයේ රියදුරන් දෙදෙනා ඇතුළු හය දෙනෙකි.
කුඹුරක සීසෑමේ කටයුත්තක් සදහා යමින් තිබූ ටැක්ටරයක බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ටැක්ටරයට බරපතල හානි සිදුව තිබේ.
බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වන්නට ඇතැයි සැකකරන කොඩිගාමම් පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.







