දිනසේන රතුගමගේ –
යාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායී රාජ්‍යය වෙත අපනයනය කිරීම ඉතා සාර්ථකව ආරම්භ කොට තිබේ.
යාපනයේ නිලාවරෙයි හන්දියේ අලුතින් ආරම්භ කොට ඇති කෙසෙල් සැකසීමේ මධ්‍යස්ථානයකදී ඇඹුල් කෙසෙල් අපනයන තත්ත්වයට පත් කිරීමේ හා ඇසුරුම් කිරීමේ කටයුතු පවත්වා ගෙන යන අතර එම මධ්‍යස්ථානය පසුගියදා විවෘත කිරීමෙන් අනතුරුව පලමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායී රාජ්‍ය වෙත අපනයනය කරණ ලදී.

යාපනයේ කෝපායි, උඩුවිල් හා තෙලිප්පලෙයි යන ප්‍රදේශ වල අක්කර 300කට වඩා වැඩි භූමියක ඇඹුල් කෙසෙල් වගා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත්තේ එම කෙසෙල් තොග ඩුබායී රාජ්‍ය වෙත අපනයනය කිරීම සදහාය.
යාපනයේ ඇඹුල් කෙසෙල් වගා කරන ගොවීන් තමන්ගේ කෙසෙල් තොගද අපනයනය සදහා බාර ගන්නා ලෙස ඉලීමක් කොට ඇතත් මුල් අදියරයේදී ඩුබායී රාජ්‍යය වෙත යවන ලද ඇඹුල් කෙසෙල් තොග පිළිබදව ලැබෙන තත්ත්ව වාර්තා වලින් පසුව ඒ ගැන තීරණයක් ගන්නා බව කෙසෙල් අපනයන මධ්‍යස්ථානයේ නිලධාරීන් යාපනයේ කෙසෙල් ගොවීන්ට ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් යාපනයේ ඇඹුල් කෙසෙල් අපනයන මධ්‍යස්ථානය දැනට දෙවනි වී ඇත්තේ අනුරාධපුර රාජාංගණය අපනයන මධ්‍යස්ථානයට පමණක් බව උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සමන් බන්ධුලසේන කියා සිටියේය.
ඒ කෙසෙල් අපනයන මධ්‍යස්ථානයේ පලමු කෙසෙල් තොගය ඩුබායී රාජ්‍ය වෙත යැවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.