“යාපනයේ රසවිඳිනු ලැබු ප්‍රණීත මුහුදු ආහාරයේ සිට සීගීරිය බිතු සිතුවම් දක්වාත්, නුවරඑළියේ තේ වතු සිට ගාලු වෙරළ තීරය දක්වාත් ශ්‍රී ලංකාව තදින් මගේ සිත් ඇදබැද ගත්තා. ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් ත්යාගශීලිවන්තභාවය පිළිබඳව මා ස්තූතිවන්ත වනවා. මට එය කිසිදිනක අමතක කළ නොහැකි.”
සේවා කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර සමුගැනීමේ පණිවුඩයක් තබමින් මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් කීවාය.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය කියන්නේ ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර එකඟ නොවන අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විවෘත සන්නිවේදනයෙන් කටයුතු කළයුතු කිරීම වැදගත් බවත් ඒ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යාහැකි බවත්ය.
ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරන්නීය.
“තානාපතිවරියක් ලෙස මෙරට සේවය කිරීමට ලැබීම මට ලැබුණු ගෞරවයක්. ගතවූ වසර 20ක කාලය තුළදී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර ප්‍රමාණය ඩොලර් බිලියනයක් ඉක්මවනවා. අප විසින් දෙරට අතර සහයෝගයෙන් වැඩ කිරීමට හැකි නව අංශයන් හඳුනාගැනීම තවදුරටත් සිදුකරනු ලබනවා.”
“අභියෝගාත්මක කාලයන්හිදී වගේම කොවිඩ් -19 වෛරසයට එරෙහි සටනේදී අප ත්‍යාගශීලි හවුල්කරුවෙකු ලෙස එක්ව වැඩකටයුතු කරනු ලැබුවා. එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 18ක ආධාර සැපයීම හා එන්නත් මාත්‍රා මිලියන 2.4ක ප්‍රමාණයක් නොමිලේ ලබාදෙනු ලැබුවා.”
“අප අතර පොදු අරමුණු හා අයෝජනයන් තිබුණද ඇතැම් විට එකඟ නොවන අවස්ථාද තිබුණා. නමුත් රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මූලික අර්ථයක් වන ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග අදහස් හුවමාරුකරගෙන කටයුතු කළ යුතුයි.”
“අප අතර එකඟ නොවන අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විවෘත සන්නිවේදනයෙන් අපගේ ද්විපාර්ශ්වීය සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යා යුතුයි.”
“ප්රජාතන්ත්රවාදී දේශයන් ලෙස දෙරට අතර හවුල්කාරීත්වය අනාගතයට පැතිර යනු ඇති. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැහැ.”
ඇය කීවාය.
දෙරණ –







