දිනසේන රතුගමගේ –
දැනට වසා දමා ඇති මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ කොට මියගොස් ඇති අයගේ පවුල්වලට සාධාරණයක් ඉටු කොට දෙන ලෙස ඉල්ලා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව සොයා බලන ඥාතී සංගම් කීපයක් එම සමූහ මිනී වළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

ඊයේ (20) පැවති මෙම උද්ඝෝෂණයේ දී සමූහ මිනී වළ සම්බන්ධයෙන් අධිකරණයට සාක්කි දෙන ලද පුද්ගලයින්ට නාදුණන පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කරන බවද කියා සිටි උද්ඝෝෂණකරුවෝ වහාම පොලීසිය හා අධිකරණය මැදිහත් වී එම පිරිස සොයා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙසද ඉල්ලා සිටියහ.
මේ වන විට කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ තිබී පුද්ගලයින් 52 කගේ ඇට සැකිලි සොයා ගෙන අති අතර එම ඇට සැකිලි අයත් පුද්ගලයින් කවුරුන්දැයි සෙවීම පිණිස විධිමත් පරීක්ෂණයක් දියත් කොට නොමැති බවට චෝදනා කොට සිටි උද්ඝෝෂණකරුවෝ මෙම සමූහ මිනී වලේ තොරතුරු ජනතාවට වසන් නොකොට සත්‍ය හෙළි කරණ ලෙසද ඉල්ලා සිටියහ.
කැණීම් කටයුතු බාරව සිටි මහාචාර්ය රාජ් සෝමදේව පමණක් මෙම මිනිස් ඇට සැකිලි මෑත කාලයට අයත් බව ප්‍රකාශ කරණ ලද නමුත් එම ඇට සැකිලි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ හා කාබන් පරීක්ෂාවක් සිදු නොකිරීම බලවත් අසාධාරණයක් බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.
කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ කොට සියලුම මිනිස් ඇට සැකිලි එම වලෙන් ගොඩ ගෙන එහි වළ දමා ඇත්තේ කවුරුන්ද යන්න නිශ්චය වශයෙන්ම සොයා දෙන ලෙස ඉල්ලමින් ලියන ලද ලිපියක් මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත බාර දීමටද උද්ඝෝෂණ කරුවෝ පියවර ගෙන තිබුණි.







