මැතිවරණ සමයේ රට සුවපත් කිරීමට අප්‍රමාණ දේ පිළිබඳ පොරොන්දු දී බලයට පත්වන දේශපාලකයින් බලය ලබාගෙන සුවපත් වෙද්දී රට අපවත්වූ බවත් මේ මැතිවරණ ඉතිහාසය පුරා සිදුවූ යථාර්ථය එය බවත් මහනුවර රදගුරු වැලන්සි මෙන්ඩිස් පියතුමෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වැවිලි ප්‍රජාව අභිමානවත් පුරවැසිභාවයක් කරා තේමාව යටතේ අද (31) මහනුවර කටුගොස්තට පාරේ සෙටි ආයතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ රදගුරු මණ්ඩලය යටතේ පාලනය වන කරිටාස් ශ්‍රී ලංකා සංවිධානය මගිනි.
මහනුවර රදගුරු වැලෙන්සි මෙන්ඩිස් පියතුමෝ මාධ්‍ය අමතමින් මෙසේ ද පැවසූහ.
දේශපාලනඥයින් තමන්ට අවුරුදු 90-100 වනතෙක් බලයේ ඉන්න උත්සහ කරනවා. මේක තමයි රටේ තත්ත්වය. දේශපාලඥයින් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජනතාව අතකොළු බවට පත්කරගෙන තමන්ගේ ගමන යෑමටයි.
මැතිවරණ කාලයේදී කරන්න බැරි දේවල් කරන්නම් කියලා බොරු පොරොන්දු දෙනවා. ජනතාවත් මේවට රැවටෙනවා. දැන් මේ පොරොන්දු දේශපාලනය ඇති. කොහොමද මේ රට හදන්නේ කියලා අපේක්ෂකයින් රටට කිව යුතුයි. ඒ සඳහා වන ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතුයි.එතකොට අපිට පුළුවන් ඒවා කරන්න පුළුවන් ඒවාද බැරි ඒවාද කියලා තීරණය කරන්න.
කියවීමේ හා ලිවීමේ ප්‍රතිශතය වැඩි වුණත් අපේ රටේ ජනතාව තුළ පවතින දේශපාලන සාක්ෂරතාවය ගැන අපට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. රටේ ප්‍රශ්න පිළිබඳව ඔවුන් තුළ පවතින දැනුවත්භාවය අඩුයි. ජනතාව නිසි ලෙස බල නොගන්නවා අපට මේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට නොහැකියි.
වසර 200 ක ඉතිහාසයක් තිබෙන වතු ප්‍රජාවට එම කාලය තුළ ලැබුණු එකම දේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පමණයි. සෞඛ්‍ය,අධ්‍යාපන,නිවාස ඇතුළු ගැටලු ගණනාවකින් ඔවුන් පීඩා විඳිනවා.
වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ අපි කතා කරනවා. ඒවාට විසඳුම් ලැබෙන්නේ බොහොම හෙමින්. දේශපාලඥයින් ඔවුන්ට අතකොළු විදිහට පාවිච්චි කරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්න ගැන කතා කිරීම පමණයි. මේ ප්‍රශ්න වලට හේතුව මොකක්ද කියලා අපි හොයන්න ඕන. හේතුව ගැන කතා කිරීමෙන් තමයි අපිට ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන්. ”
උන්වහන්සේ කීහ.







