මැතිවරණ නීති කඩකරමින් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහාය පලකරන පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු සමග පෝස්ටර් 10,000 ආසන්න ප්‍රමාණයක් ඊයේ (03) රාත්‍රි 7,00 ට පමණ අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ මෙම පිරිස පෝස්ටර් අලවමින් සිට ඇති අතර පෝස්ටර් අලවමින් සිටි සිව්දෙනකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කැබ් රථයේ රියැදුරු සහ සහායකයා ලෙස කටයුතු කර ඇති අතර ඔවුන් වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 37 යන වයසේ පසුවන්නන් බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔවුන් පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටර් මුද්‍රණය කළේ කවුරුන් විසින්ද. කුමන මුද්‍රණාලයේ ද යන්න සඳහන් වී නොමැති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පෝස්ටර් කිලෝ පනහකට ආසන්න බර ප්‍රමාණයකින් යුක්ත බවත්, මේ පිළිබඳ මැතිවරණ කාර්යාලය දැනුවත් කර ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පෝස්ටර් සහ සැකකරුවන් දෙදෙනා මෙන්ම කැබ් රථය මුදා හරින ලෙසට ජනාධිපතිවරණයාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන දේශපාලඥයන්ගෙන් පොලිසියට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බවද වාර්තා වේ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාෙගේ උපදෙස්මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







