තුෂාරී කළුබෝවිල –
වසර විස්සකට පසුව අපේ රට හරහා සුළි කුණාටුවක් ගමන් කිරීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් වූ අයුරු අමුතුවෙන් කිවයුතු නොවේ.
ගිණිකොණ දිග බෙංගාල බොක්කේ හටගත් “බුරවි” සුළි කුණාටුව මුලතිව් හා ත්‍රිකුණාමලය ආශ්‍රිතව ගොඩබිමට ඇතුලු ව මන්නාරම හරහා ගොස් ඉන්දියාවේ කන්‍යාකුමරි ප්‍රදේශයෙන් දකුණු තමිල්නාඩුවට ඇතුළු වී දුර්වල තත්ත්වයට පත් වේ.
මෙම පද්ධතිය හට ගත් මුල් අවස්ථාවේ පටන් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයත් එක්ව වහාම නිවේදන නිකුත් කරමින් උතුර, නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරත වූ පිරිස වහාම ආපසු ගොඩබිමට ගෙන්වා ගැනීමට හා ඔවුන් සුරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරවීමටත් කටයුතු කරන ලද්දේ සුළං ධාරාවල බලපෑමෙන් මුහුදේ තත්ත්වය අවදානම් බව තහවුරු කර ගනිමිනි. ඔවුන් දිගින් දිගටම අනාවැකි පල කළේ ද ඒ ත්ත්වයන් පෙන්වා දෙමිනි.
ගොඩබිමට මෙහි බලපෑම කෙසේද යන්න දක්වා තිබුණේ දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද ප්‍රදේශවලට වැසි හා තද සුළං ඇති වන බවයි. මුහුදු රළ මීටරයක් පමණ ඉහළ යන බැවින් ඉහත කී ප්‍රදේශවල මුහුදට ඉතා ආසන්නයේ ජීවත් වූ ජනයා පමණක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.
කාලගුණය යනු සෑම මොහොතකදීම වෙනස් වන තත්ත්වයක් බැවින් හදිසි ආපදාවක් ඇති වුවහොත් එයට මුහුණ දීමටත්, විපතට පත් වන ජනයාට සහන සැලසීම සඳහා අමතර ප්‍රතිපාදන කල් ඇතිව වෙන් කර දීමටත්, ඕනෑම ආපදාවකට අවශ්‍ය පරිදි කටයුතු කිරීම සඳහා ශ්‍රම පිරිස හා උපකරණ පෙර සූදානම් කර තිබිණි. එසේ සූදානම් කළ පමණින් එවැනි විපතක් වෙනවා යැයි නිශ්චිත ව නිගමනය කළ හැකි නොවේ.
එහෙත් මෙම තත්ත්වයන් වාර්තා කළ ඇතැම් මාධ්‍ය මගින් පිළිඹිබු වූයේ, ඔවුන්ගේ කතා විලාසයෙන් විද්‍යමාන වූයේ අදාළ ප්‍රදේශවලට පමණක් නොව මුලු රටම සුළඟේ ගසාගෙන යන්නාක් මෙන් බියකි, තැති ගැනීමකි. පුවත් නැරඹූ ඇතැම්හු අත්‍යවශ්‍ය දෑ මල්ලකට ගොඩ ගසා සුළි සුළං එනතුරු මාධ්‍ය දෙස භීතියෙන් බලාගෙන සිටියෝ ය.
කාලගුණ අනාවැකියේ දක්වා ඇත්තේ දිවයිනේ ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකළපුවට, යාපනය ආදි ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ වැසි හා පැයට කිලෝමීටර් 80 තරම් සුළං ඇති වන බවයි. ඒ අතරින් ද වැඩි බලපෑම් මුලතිව් හා මන්නාරම් දූපත්වලට ඇති වන බවයි. ආපදාවක් ඇති වීමට නම් ජනගහනය ද බොහෝ සිටිය යුතු වේ. උතුර, නැගෙනහිර ජනගහනය ආපදාවකට පසුවෙන් මුහුණ දිය හැකි තරම් සුලු පිරිසකි. ඔව්න් උදෙසා ආපදා කලමනාකරණය සෙසු ප්‍රදේශවලට සාපේක්ෂකව පහසු ය. මේ නිසා ම අනතුරු ඇඟවීමක් නිකුත් කරනුයේ ආපදාවක් ඇති වුවහොත් ඒ සඳහා පූර්ව සූදානමක් ඇති කිරීම සඳහා මිස මුලු රටක්, ජනතාවක් මහා කලබලයට පත් කිරීමට නොවේ. වැහි පොද වැටෙන තැනක සිට මහා වැසි මැවීමත්, රළ බිඳෙන තැනක උදම් රැළි මැවීමත් මගින් සිදු වූයේ ජනතාව අනිසි බියකට ඇද දැමීම මිස තොරතුරු ජනගත කිරීම නොවේ.
මෙවැනි දෙයින් සිදු වන හානිය අතිශයින් ප්‍රබල ය. මෑත අතීතයේ තාක්ෂණික උපකරණ අවමයෙන් තිබූ යුගයක ජනතාව තුළ මුල් බැසගත් තත්ත්වය වූයේ කාලගුණය වහිනවා කීවොත් වහින්නේ නැති බවය. ඒ තත්ත්වයෙන් මිදී දැන්නම් කාලගුණය වහිනවා කිව්වා නම් වහිනවා ම තමා යැයි විශ්වසනීයභාවය ඇති වූ සැනින් එකී විශ්වාසය පලුදු වීම බරපතල ගැටලුවකි. එය ආපදාවකට පෙර සූදානම ජනතාව කෙරෙන් දුරස් කරවීමට හේතු වන අතර ආපදා විපත් ඉදිරියේදී බහුල වීමට ද හේතු වනු ඇත.
බෙංගාල බොක්ක වූ කලී ලොව අනෙකුත් එවැනි පිහිටීම් හා සැසඳීමේදී ඉතා කුඩා වපසරියකි. එහි හට ගන්නා වායු පීඩන තත්ත්වයන් ලොව අනෙකුත් ප්‍රදේශවල හට ගන්නා වායු පීඩන කලාපයන් තරම් බිහිසුණු නොවේ. මෙහි විශේෂත්වය වන්නේ නිතර නිතර වායු පීඩන කලාප, අඩු පීඩන තත්ත්වයන් හට ගෙන කලාපය ආශ්‍රිත මුහුදු හා ගොඩබිම් ප්‍රදේශවලට ප්‍රමාණවත් තරම් වැසි ලබා දීම ය. බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වන සුළි ධාරාවන්ගෙන් මහා විනාශයන් සිදු නොවන තරම් එහි ප්‍රබලතාව අඩු වන්නේ විශාල පද්ධතියක් වටා අධි වේගයෙන් ගමන් කිරීමට තරම් ඒවා ප්‍රබල නොවන බැවිනි. ඇමරිකාව වැනි රටවලට බලපාන සුළි කුණාටු පිළිබඳ සළකා බැලීමේදී බෙංගාල බොක්කේ හට ගන්නා සුළි කුණාටු ප්‍රබල නොවේ.
බුරවි සුළි කුණාටුව මින් පෙර ඇති වී තිබෙන සුළි කුණාටු තත්ත්වයන්ට ද වඩා ප්‍රබලත්වයෙන් අඩු ය. එහි සුළි කක්ෂය වටා සුළං ධාරා ගමන් ගන්නා වේගය ද ඉතා අඩු ය. සමස්ත සුළි සුළං පද්ධතිය ම ගමන් කරන වේගය ඊටත් වඩා අඩු ය. මෙම පද්ධතිය ගමන් ගන්නා ප්‍රදේශවල ජනගහනය ද අඩු ය. මේ නිසා රටට ඇති වන බලපෑම ද අඩු ය.
මේ කිසිවක් පිළිබඳ ව නිසි අවබෝධයක්, අධ්‍යයනයක්, අත්දැකීමක් නොමැති ව අඩුම තරමේ කාලගුණ අනාවැකිය නිසි පරිදි කියවා මනා අවබෝධයක් නොලබා සිදු කරන කලබල කිරීම් නිසා මහජනතාව තුළ හට ගැනෙන්නේ අනිසි බියකි. බිය මවා තම නාලිකාවලට “රේටින්“ වැඩි කරගන්නට යෑම පූර්ව අනතුරු ඇගවීමක් නම් නොවේ. මෙවැනි තත්ත්වයන් විදේශ මාධ්‍යවල නම් දැකිය නොහැක. ඔවුන් සතුව මනා හික්මීමක්, සදාචාරයක් හා වගකීමක් සහිත මාධ්‍ය භාවිතයක් පවතින බැවිනි.
හුවා දක්වන තරම් ආපදාවක් නැතත් බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ සෑම ප්‍රදේශයක ම විටින් විට වැසි, සුළං ප්‍රබල වන අතර බොහෝ කාලයක් වියළි ව පැවති උතුරු මැද හා උතුරේ ජලාශවලට නම් මේ වැස්ස ආශිර්වාදයකි.







