අධික වර්ෂාවත් සමඟ මහනුවර හන්තාන පතන වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි මවක හා දියණියක තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල ද නාය යාමේ දැඩි අවදානමකට ලක්වී ඇති බැවින් දැනට එහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව හෙද විදුහල් බලධාරීහු කීහ.
ශ්‍රී ලංකා රෝහල් පද්ධතියට හෙද හෙදියන් පුහුණු කරනු ලබන ප්‍රධානතම ආයතනයක් වශයෙන් මෙම හෙදි විදුහල සැලකේ. එහි කොටසක් නායෙ ගොස් ඇති බව ද විදුහලේ බලධාරිහු පැවසූහ.
මෙයට අමතරව සුදුහුම්පොළ,බහිරවකන්ද,අනිවත්ත ආදි ප්‍රදේශ රැසක නිවාසවලට ද වර්ෂාව හේතුවෙන් හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කටුගස්තොට වට්ටාරන්තැන්න ප්‍රදේශයේ නිවසක්ද ගිලා බැසීමකට ලක්ව තිබෙන අතර ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ඊයේ (06) එම නිවස නිරීක්ෂණය කර ඇත.
පසුව නිවැසියන්ට තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්ව තිබේ.
ගඟ ඉහළ,තුම්පනේ,දෙල්තොට හා උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද නිවාස හතරකට අර්ධ හානි සිදුවීම නිසා පවුල් හතරකට අයත් සාමාජිකයින් 15 දෙනෙකු බලපෑමට ලක්ව සිටිති.







