ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට පැවරීමට අද මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කළද පසුව එම තීරණය වෙනස් වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ බස්නාහිර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දක්වන ලද විරෝධය හේතුවෙනි.
පවතින උද්ඝෝෂණ ඇතුළු විරෝධතා හේතුවෙන් මෙම ස්ථාන තුන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් අද දිනයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වී ඇත්තේ එහි ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අමාත්‍යංශය යෝජනා කර ඇත්තේ මෙම ස්ථාන ත්‍රිත්වයේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යටතට පත් කළ යුතු බවය.
එසේ වුවද එහිදී අජිත් රෝහණ ප්‍රකාශ කොට ඇත්තේ ආරක්ෂාව ගැන වගකීමක් තමාට දැරීමට නම් වෙනත් පොලිස් නිලධාරීන්ට ඊට ඇඟිලි ගැසීමට හෝ නිලධාරීන්ට නියෝග ලබාදීමට ඉඩක් නොතබා තමාගේ ඝෘජු නියෝගයෙන් පමණක් එය ක්‍රියාත්මක වන්නේ නම් පමණක් බවය.
අජිත් රෝහණගේ මෙම ඉල්ලීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් සහ පොලිස්පතිවරයා එකඟවී ඇතත් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධය දක්වමින් සඳහන් කර ඇත්තේ අරලියගහමන්දිරය, ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ තමාට යටතේ බව සඳහන් කරමිනි.
කෙසේ වුවද අජිත් රෝහණ ඊට පසු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර දේශබන්දු තෙන්නකෝන් ට වගකීම පැවරී ඇත. එහිදී තෙන්නකොන් අජිත් රෝහණ වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් ලබා දීමට එකඟත්වය පළ වී ඇති බව වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යටතට පත්කර ඇත.







