කංජිපානි ඉම්රාන් කයිවාරුකාර කාඩ්බෝඩ් විරයින්ට පොරක් වුව ද තමන්ට ඔහු පොරක් නොවන බවත් රාජ්‍ය තාන්ත්‍රික අවසරයක් ලිඛිතව දෙනවා නම් තමන් කංජිපානි ඉම්රාන් රැගෙන එන්නේ තනිවම බවත් සරණාගතභාවය ඉල්ලමින් ප්‍රංශයට පැන ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසයි.
ඔහු මේ බව පවසන්නේ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට දැනට ප්‍රංශයේ සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක සම්බන්ධ බවට සමාජගතවන චෝදනාවලට නෙත් එෆ්.එම් සමග සාකච්ඡාවකට එක් වී දීර්ඝ පිළිතුරක් ලබා දෙමිනි.
තමන් මානව හිමිකම් සම්බන්ධව පශ්චාත් උපාධියක් සහිතව වැඩ කළ නිලධාරියෙක් බවත් ලංකාවේ සිට පැමිණ ප්‍රංශයට වී පාඩුවේ ජීවත්වීමට උත්සාහ කරමින් සිටින්නේ මේ රට යන ක්‍රමය සම්බන්ධව තමන්ට ඇති කලකිරීම නිසා බවත් පවසන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද තමන් කවරෙක්දැයි පොලිසියේ නිලධාරීන් මෙන්ම පාතාලය ද හොඳන්ම දන්නා බවය.
අසූපන්දාහක පොලිස් බලකාය තුළ අති දක්ෂ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්න බව කී හිටපු පොලිස් පරික්ෂකවරයා මේ ඕනෑම පුද්ගලයෙන් කණ්ඩායමක් ලවා විමර්ශනයක් කළ තමන් වරදකරු බව ඔප්පු කළහොත් යළි ලංකාවට තමන් එන බව කී ඔහු තමන් ප්‍රංශයේ සිටියත් තමන්ගේ බිරිය දරුවා සහ සොයුරු දෙමව්පිය ඥාතීන් සියලු දෙනාම ඉන්නේ ලංකාවේ බව පෙන්වා දුන්නේය.
තමන්ගේ දරුවා මාස 05ක් තිස්සේ පාසල් නොයයන බවකී දුමින්ද ජයතිලක මේවා කතා නොකරන මාධ්‍ය සියල්ල පැත්තට තබා මඩ ගසන්නේ නම් තමන්ට කියන්නට ඇත්තේ තමන්ගේ බිරිය සහ දරුවන් ගැන තමන්ට බලා ගත හැකි බවත් තම තමන් ගැන තම තමන් බලා ගන්නා ලෙසත්ය.
“කංජිපානි ගේන්න කිව්වොත් මම තනියම අරන් එන්නේ. බොරුනම් අපේ කොළඹ අපරාධ කොට්ඨාසයෙ අධ්‍යක්ෂතුමාගෙන් අහන්න මට තියන මොරාල් එක. මම ඕකව තනියෙන් ගේන්නේ… තනියෙන්. රාජ්‍ය තාන්ත්‍රික ලියුමක් එවන්න කියන්න ඒක කරන්නේ නැද්ද බලන්න. කයිය ගහන උන්ට කංජිපානි පොරක් වෙන්න ඇති. නමුත් ඒකා මට පොරක් නෙමෙයි…”
හැබැයි කංජිපානි ගෙනාව කියලා ලංකාවේ කුඩුවත් පාතාලයවත් නැති වෙන්නේ නෑ. මේකට ක්‍රමවේදයක් එන්න ඕන. වතුවල කුඩු බිබි ඉන්න එකාට නඩු දාන එක නෙමෙයි වෙන්න ඕන. මිනිස්සු පුනරුත්ථාපනය කරන්න ක්‍රමවේදයක් ඕන.
රටේ ක්‍රමය ගැලපෙන්නේ නැති නිසා මම රටෙන් ආවම මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න කියලා මම කියන්නේ. එහෙම නොකර අනවශ්‍ය විදිහට මාව ගලපලා මගේ චරිතය ඝාතනය කරන්න හදන්න එපා. මම මගේ චරිතයට ආදරය කරන මනුස්සයෙක්. අපේ පවුල්වල මම තමයි වීරයා. මගේ චරිතයට හානි කළොත් එයාට වඩා ලොකු කෙනෙක් උනත් මම හොයාගෙන එනවා. මට වැඩක් නෑ .
නෙත් එෆ්.එම් සමග දුමින්ද ජයතිලක හිටපු පොලිස් පරීක්ෂකවරයා කළ සාකච්ඡාව පහත දැක්වේ.







