මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුවට යූරියා පොහොර ලබා දුන් බවට කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍ය නිවේදන නිකුත් කළ ද පොලොන්නරුව මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වගාව සඳහා මෙතෙක් යූරියා පොහොර ලැබී නැති බවත්, ඒ හේතුවෙන් පැළගොයම කහ ගැන්වීමට පටන්ගෙන ඇති බවත් මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන ප්‍රකාශ කරති.
යූරියා පොහොර යොදන කාලය දින 25 ත් 30 ත් වශයෙන් පසුවී ඇති බව පවසන ගොවි සංවිධාන නියෝජිතයන්, ගොවි සංවිධාන හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මුදල් ලබා දුන්නද මෙතෙක් පොහොර නොලැබීම නිසා දැඩි අසීරුතාවට පත්ව ඇති බව කියති.
මුදල් තිබෙන ඇතැම් ගොවීන් පෞද්ගලික වෙළෙඳපොළ මගින් පොහොර ලබාගෙන වී වගාව සඳහා යොදා ඇති නමුත් තමන්ට ඒ අයුරින් පොහොර මිලදී ගැනීමට වත්කමක් නොමැති නිසා යූරියා පොහොර රජය මගින් ලබාදෙන තෙක් මග බලාගෙන සිටීමට සිදුව තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
මෙවර මහවැලි බී කලාපයේ යල කන්නයේ කුඹුරු අක්කර 60,000 ට වැඩි ප්‍රමාණයක් වී වගා කර තිබෙන අතර ඉන් වැඩි ප්‍රමාණයකට මෙතෙක් යූරියා පොහොර නොලැබීම හේතුවෙන් ගොයම් කහ වීමෙන් මෙවර අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවද ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති,
අප මේ පිළිබඳව මහවැලි බී කලාපයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන කීපයකින්ම දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඇතැම් ගොවිසංවිධාන ගොවින්ට පොහොර අවශ්‍යතාවය පරිදි මුදල් ලබාදීම ප්‍රමාද වී ඇති තිබෙන බවය.
රජයෙන් පොහොර ලබාදුන් වහාම ගොවි සංවිධාන මට්ටමෙන් ගොවීන් වෙත පොහොර ලබාදීම ආරම්භ කරන බවත්, ඇතැම් ගොවීන් පෞද්ගලික වෙළඳපොලෙන් පොහොර මිලට ගෙන වී වගාව සඳහා පොහොර යොදා ඇති බවත්, දින පහළොවක් විස්සක් යූරියා පොහොර යෙදීම් ප්‍රමාද වුවද වී අස්වනු අඩු වීම්ට එය එතරම් බලපෑමක් නොවන බවත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වල නිලධාරීහු කීහ.







