බිලියන ගණනින් ජනතා බදු මුදල් වංචා කරමින් තමන්ගේ අශිෂ්ඨ දේශපාලනය කරන දේශපාලකයින් බදු ගෙවන ජනතාව වෙනුවෙන් ජනතා සහනාධාර ක්‍රමයක් ස්ථාපිත කිරීම අපරාධයක් බව කියන මේ පාලකයින් පවුල් හතරක් හෝ පහක් තුළ සිය බලය හුවමාරු කරගනිමින් 76 වසරක් පුරා මේ රට පාලනය කර ව්‍යසනයට ලක් කරනු ලැබුවේ ජනතාව දුප්පත්කමේ පත්ලේ රඳවා එම දුප්පත්කම කළමනාකරණය කිරීමෙන් බව අනුර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.
මහ බැංකුවේ වංචාව පමණක් කෝටි 1100ක් බවත්, සීනි බදු වංචාව කෝටි 1500ක් බවත්, පොල්තෙල් බදු වංචාව කෝටි 350ක් බවත්, වීසා වංචාව ඩොලර් කෝටි 104ක් බවත් පෙන්වා දෙන අනුර කුමාර දිසානායක සීනි කිලෝවකටත් මහ ජනතාව බදු ගෙවද්දී අර්ජුන් ඇලෝසියස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු මිනිස්සුන්ගෙන් අයකරගත් කෝටි ගණනක බදු මුදල් ආණ්ඩුවට ගෙවීම පැහැර හැරිය බව කීවේය. දයා ගමගේ ගේ කෝටි 75ක ණය මුදල කපා හරින රනිල් වික්‍රමසිංහ තමන්ගේ වාර්ෂික විදයමට කෝටි 875ක් වෙන් කරගන්නේත් ජනතාවගේ බදු මුදල් බව ඔහු පැහැදිලි කළේය. ලෝකයේ සෑම දියුණු රටක්ම මිනිසුන් වෙනුවෙන් විධිමත් සහනාධාර වැඩ පිළිවෙළක් දියත් කරන්නේ මේ ආකාරයෙන් පිල්ලි ගහන ස්වකීය සහචරයින් සමග බෙදා ගනු ලබන මහජන බදු මුදල් කළමනාකරණයෙන් බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක යෝජනා කරන්නේ ජනාධිපති කම නළලේ කොටාගෙන නොපැමිණි, පොදු ජනතාව සමග එක්ව පොදු ජනතාවගේ දේශපාලනය කළ, අදූෂිත දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කැපවුන දේශපාලන කණ්ඩායමකට දේශපාලන ලබා දී ජනතාවගේ ආණ්ඩුවක් හදන්නට මේ අවස්ථාව කළමණාකරණය කරගන්නා ලෙසය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (30) අනුරාධපුරයේ පැවති ජාතික ජන බලවේගයේ ගොවි ජන රැළිය අමතමිනි. එහිදී අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා.
දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටක්. නමුත් මේ පාලක කණ්ඩායමට අපේ රට හදන සැලැස්මක් තිබුනේ නැහැ. අපේ රට පොහොසත් කරන්න, ජනතාව පොහොසත් කරන්න පාලකයන්ට ඕනෑකමක් තිබුණේ නැහැ. ජනතාව දුප්පත් වුණාම ඡන්දෙ කාලෙට හාල් කිලෝ 20ක් දීල, තහඩු ටිකක් දීල, සිල් රෙදි දීලා, රස්සාවක් දීලා ඡන්දෙ ගන්න පුළුවන්. රටේ ජනතාව පොහොසත් වුණොත් ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවර වෙනවා. ජනතාව පොහොසත් වුණොත් දේශපාලකයා පස්සේ යන්නෙ නැහැ. රට වැටුණට ඒගොල්ලන්ගේ පවුල් වැටුණේ නැහැ. ඒ ගොල්ලෝ පොහොසත් වුණේ රස්සාවල් කරලා නොවෙයි; දේශපාලනය කරලා; ධනය පොදි ගහලා.
මේ රට මෙච්චර කාලයක් පාලනය කළේ රටේ උඩින් හිටිය අය. සේනානායක බෝතලේ වලව්ව, බණ්ඩාරනායක හොරගොල්ල වලව්ව, ජේ.ආර්.ලා, රනිල්ලා, කොල්ලුපිටිය වලව්ව, රාජපක්ෂලා හම්බන්තොට මැදමුලන. අවුරුදු 76ක් මේ ගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ලංකාවේ මුළු දේශපාලනයම පවුල් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් රට වැට්ටුවා.
පාර්ලිමේන්තුවේ නිතරම කියන්නේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. මහ බැංකුවේ කෝටි 1100ක් සීනි බදු වංචාව කෝටි 1500ක් පොල්තෙල් බදු වංචාව කෝටි 350යි. වීසා වංචාව ඩොලර් කෝටි 104යි. පාලකයන්ගේ ගජ මිතුරන්ට සල්ලි පොදි ගහගන්න ඉඩ දෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩු නිසා. මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරනවා.
ජනතාව ගන්න සීනි ටිකට, බෙහෙත් ටිකට, මිලදී ගන්න සෑම බඩුවකටම බද්දක් ගෙවන්න ඕනෑ. අර්ජුන් ඇලෝසියස් අරක්කුවලින් බදු අරගෙන තියෙනවා. ඒත් ආණ්ඩුවට ගෙවලා නැහැ. වයඹ අරක්කු ජොන්ස්ටන්ගේ. ආණ්ඩුවට බදු ගෙවලා නැහැ. දයා ගමගේ මහජන බැංකුවෙන් ණය අරගෙන ගෙවන්නේ නැහැ. ඒවා බොල් ණය හැටියට කපා හරිනවා. කෝටි 50කට වැඩියි. හැබැයි ජනතාවට සහනාධාර දෙන්න බැහැ කියනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. කෝටි තුන ගානේ විකුණනවා. පෙට්‍රල් ෂෙඩ් ලයිසන් විකුණනවා. මේවා ඒගොල්ලන්ගේ ආණ්ඩු. ජනතාව මාරුවෙන් මාරුවට ඡන්දෙ දුන්නාට, ආණ්ඩු ගෙනාවාට හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩු.
ලෝකයේ ආණ්ඩු මිනිස්සුන්ව බලා ගන්න හැටි
අපේ රටේ එකින් එක පැටලුණු නූල් බෝලයක් වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඉතා සංයමයෙන්, වැඩපිළිවෙළක් සහිතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර විසඳිය යුතුයි. මේ රට ලෝකයේ සාර්ථකම රාජ්‍යය බවට පරිවර්තනය කරනවා සහතිකයි. රටක් හදන්න ජනතාවට කන්න දෙන්න ඕනෑ. රනිල්ගේ ආර්ථිකය ප්‍රස්ථාරවලින් උඩට ගිහිල්ලා. ඒත් ජනතාවට කන්න නැහැ; ලෙඩට බෙහෙත් නැහැ; දරුවාට උගන්වන්න විදිහක් නැහැ.
සෑම පුරවැසියාටම ආහාර දීමේ වගකීම අපි බාර ගන්නවා. සහනාධාර නරක දෙයක් නොවෙයි. සමහරු කියනවා සහනාධාර ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල්වල සහනාධාර දෙනවා. තරුණයෙක් රැකියාවක් ලබාගන්න තත්වයට වර්ධනය වුණාම රස්සාවක් සොයා ගන්නා තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් කෙනෙක්ගෙ කරමින් ඉන්න රස්සාව අහිමි වුණොත් අලුතින් රස්සාවක් ලැබෙන තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් අලුතින් විවාහ වූ දෙන්නෙකුට ඉන්න ගෙයක් නැතිනම්, නගර සභාවෙන් ගෙයක් දෙනවා. ආබාධිත දරුවෙක් ගෙවල්වල ඉන්නවා නම්, අම්ම රැකියාවක් කරන්න ඕන නැහැ සම්මත වැටුප අම්මාට ගෙවනවා. ලෝකය එහෙමයි මිනිස්සුන්ව බලා ගන්නේ.
කොවිඩ් වසංගත වෙලාවේ ව්‍යාපාර කඩා වැටුණා. ව්‍යාපාරයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා. ආණ්ඩු ව්‍යාපාර රැකගත්තේ එහෙම. රස්සාවල් අහිමි වුණා. එයා ලැබූ වැටුපට සරිලන වැටුපක් ගෙව්වා. නිවාස කුලිය ගෙව්වා. අපේ ආණ්ඩු මිනිස්සු බලා ගන්න ආණ්ඩු නෙවෙයි. ඒගොල්ලන් හැදෙන ආණ්ඩු.
මිනිස්සුන්ව බලාගන්න හදන ආණ්ඩුවේ හැඩය
අපි හදන්නේ මිනිස්සුන්ව බලා ගන්න ආණ්ඩුවක්. පුරවැසියාට කන්න නැතිනම් ආණ්ඩු හදලා වැඩක් නැහැ. දරුවන්ට ආහාර වේල, ගැබිණි මව්වරුන්ට ආහාර, පුරවැසියන්ට තමන්ගේ ආහාර ලබාදෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
ග්‍රාමීය ජනතාවට තමන්ගේ ජීවන රටාවෙන් එළියට එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. අද දෙමව්පියන්ට බරක් වෙලා තිබෙන අධ්‍යාපනය දෙමව්පියන්ගෙන් නිදහස් කරගෙන, රජයේ වගකීමක් බවට පත්කරනවා.
දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකම පමණක්ම නොවෙයි. නූගත්කම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අපරාධවල නියැලීම, දුප්පත්කමේම වෙනත් ඵල විපාකයක්. අපි හදනවා සැලැස්මක්. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පත්කර, ඉස්කෝල හත-අටක් බාර දෙනවා. එක දරුවෙක් දවස් තුනක් නොකඩවා පාසලට ආවේ නැතිනම් නිලධාරියා ඒ දරුවාගේ ගෙදර යන්න ඕනෑ. ඒ හේතුව අනුව අවශ්‍ය පියවර ගන්න ඕනෑ. අපි අධ්‍යාපනය අලුත් පරිවර්තනයක් ඇති කරනවා.
සෑම වෘත්තියක්ම ගෞරවයට ලක්වෙන, වෘත්තිමයභාවය දෙන වෘත්තියක් කරනවා. වෘත්තිමයභාවය දෙන හොඳ වෘත්තිමය ආයතන ලෝකයේ තිබෙනවා. පුහුණු කරනවා. හැම වෘත්තියකටම හොඳ ආදායම් මාර්ගයක් ඕනෑ.
අපේ රටේ ගොවිතැනට ගරුත්වයක් නැහැ. ලෝකයේ ‘ෆාමර්’ කිවුවම ලොකු බලයක්, ගරුත්වයක් තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල ගොවිපොළ අක්කර 25ට අඩුවෙන්න බැහැ. ලෝකයේ රටවල්වල වෙනම සුපර් මාර්කට් තිබෙනවා. කොරියාවෙ තමන් නිෂ්පාදනය කළ දේවල් ගෙනත් තමන්ම විකුණනවා. මිල අධිකයි. එයාලට ගෞරවයක් දෙනවා. අපේ ගොවියා අස්වැන්න නෙළන කාලෙ වෙනකොට කුඹුර දිහා බලලා කියනවා මේ සැරේ අස්වැන්න සරුයි කියලා. අස්වැන්න නෙළලා කමතෙම විකුණනවා. විකුණලා පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, කෘමිනාශක කඩේ මුදලාලිට, උකස් කඩේ මුදලාලිට බෙදනවා. අතේ සොච්චමක් ඉතිරි වෙනවා.
ගොවි ජනතාව විශාල බරකින් මිරිකිලා ඉන්නේ. අපිට කියන්න බැහැ, ගොවියට සමාජ පිළිගැනීමක්, ගෞරවයක් තිබෙනවා කියලා. ගොවි තාත්තාට කියන්න හිතෙන්නේ නැහැ, ‘පුතේ උඹත් ගොවිතැන් කරපන්’ කියලා. ‘මම විඳින දුක මගේ දරුවට අත්පත් කර දෙන්නෙ නැහැ’ කියන එක තමයි ඒ තාත්තා හිතන්නේ. ගොවිතැන අවශ්‍යයි. ඒක ලාභදායී, ආදායමක් සහිත වෘත්තියක් බවට පත් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, කෘෂිකර්මාන්තය වටිනාකම් සහිත වෘත්තියක් බවට පරිවර්තනය කරනවා.
ලෝකෙ හැමතැනම කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. සහනාධාර කියන්නේ නිෂ්පාදන සහනාධාර. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විදුලිය, ඉන්ධන සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. කෘමිනාශක නොමිලේ දෙනවා. බීජ සහනාධාර මිලකට දෙනවා. ඉන්දියාවේ ගොවියාට ළුෑණු කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම අඩුයි. ඉන්දියාවේ ගොවියා තාක්ෂණය යොදාගෙන ඵලදායීතාවය වැඩි කරගෙන තිබෙනවා.
අපි තෙල්, පොහොර, බෙහෙත් ගහන්නේ වැඩි මිලට. අපේ නිෂ්පාදන වියදම වැඩියි. සහනාධාර, නව තාක්ෂණය හරහා ඵලදායීතාව වැඩි කිරීමෙන් තොරව අපේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට යන්න බැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සහනාධාර, ඵලදායීතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ, සිදුකරනවා.
තාක්ෂණය සහ කෘෂිකර්මය
විසිවන සියවසේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් සොයා ගත්තා. වැඩි ඵලදාවක් දෙන දෙමුහුන් බීජ නිෂ්පාදනය කළා. වැඩිදියුණු කළ බීජ සොයා ගත්තා. කෘෂිකර්මාන්තයට තාක්ෂණය එකතු කළා. ඒනිසා ඵලදායීතාවය වැඩි වුණා.
ඒ වගේම මිනිසුන්ගේ ආයු කාලය වැඩි වුණේ විසිවන සියවසේ. බෙහෙත් සොයා ගත්තා. ඔපරේෂන් සොයා ගත්තා. හදවත් බද්ධ කිරීම්, අතපය බද්ධ කිරීම් සොයා ගත්තා. සමහර වසංගත රෝග පාලනය කළා, සමහර වසංගත රෝග මුළුමනින්ම තුරන් කළා. විද්‍යාවේ ජයග්‍රහණ විශාල ලෙස උකහා ගත්තා.
අද දියුණු වී තිබෙන ආසියාතික රටවල් දියුණුව ලබා ගත්තේ විසිවන සියවසේ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමෙන්. අපි ඒ බීජ ගෙනත් වගා කරනවා. නිෂ්පාදනය කිරීම සඳහා අපේ පෙළඹුම අඩු වුණා. බහුජාතික සමාගම් විසින් අලුත් තාක්ෂණයෙන් බීජ නිෂ්පාදනය කරනවා. ඩුබායි වට්ටක්කා කොළයක් ගානේ ගෙඩි හැදෙනවා. විද්‍යාවේ අලුත් පර්යේෂණ විසින් අලුත් බීජ නිෂ්පාදනය කරනවා. අපි පර්යේෂණ ආයතන, ගොවිපොළවල් වහනවා. අර ගොල්ලන් හදපු බීජ වැඩි ගාණට ගෙනැත් ගොවියන්ට දෙනවා. ලෝකයේ ඇතිවූ විද්‍යාවේ හා තාක්ෂණයේ වෙනස්කම් විසින් අපටත් ඒවා හදන්න තිබුණා. අපි වැටුණා. ඒගොල්ලෝ නැග්ගා. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න අලුත් පර්යේෂණ අවශ්‍යයි. අලුත් දේවල් සොයා ගන්න අවශ්‍යයි. නව වගා ග්‍රම අවශ්‍යයි. අලුත් බීජ අවශ්‍යයි.
පර්යේෂණ හා සංවර්ධනය විසින් සොයා ගන්නා ලද නව නිමැවුම් විසින් තමයි අද ලෝකයේ ආර්ථිකය හදාගෙන තිබෙන්නේ. මේ තාක්ෂණය, විද්‍යාව වැදගත්. ඒවායින් සිදුවන පර්යේෂණ තුළින් තමයි අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ලෝකය පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකේය විද්‍යාඥයනුත් ලංකාවේ සිටින විද්‍යාඥයනුත් එකතු කරලා අපේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන අපි ඉදිරිපත් කළා. ඒකේ ප්‍රධානියෙක් අපේ පොස්පේට්වලින් පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කළ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමා අපේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියෙක්. අපි මේ පොහොර කන්ද පස් විදිහට විකුණනවා වෙනුවට ගොවි ජනතාවට පොහොර ලබාදීම සඳහා කටයුතු කරනවා. අමු පස් විකුණනවා වෙනුවට, දියුණු කරන ලද පොහොර පිටරට විකුණුවාට කමක් නැහැ.
ඒ විතරක් නොවෙයි, ලංකාවේ පස පිළිබඳ පර්යේෂණ කරන ප්‍රධානම විද්‍යාඥයා පේරාදෙණියේ මහාචාර්යතුමා, එතුමා ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදමින් අපිත් එක්ක සමීපව වැඩකරනවා. අපි පසේ ඇතිවෙන සංයුතිය පරීක්ෂා කර බලා, වගාවන් සහ වෙනස් කිරීම සඳහා අපි යෙදවුම් හඳුන්වා දෙනවා.
අපි නෙළාගන්න අස්වැන්න කල්තියා ගන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණ අවශ්‍යයි. තායිලන්තයේ, ජපානයේ එළවළු, පලතුරු කල්තබා ගැනීමේ ක්‍රම තිබෙනවා. එයාර් පෝර්ට්වල එයාලගේ වෙනම සෙන්ටර් තිබෙනවා. අඹ, වරකා, මොර, අන්නාසි, එළවළු කල්තබා ගන්න විදිහක් තිබෙනවා. අවරුදු 76ක් මේ පාලකයෝ මේ රට පාලනය කළා. අද වට්ටක්කා නෙළනවා, දඹුල්ලට ගෙනියනවා, විකුණන්න බැරිවුණොත් අලින්ට කන්න දානවා. එක්කෝ අලියා කොටුවෙන් කනවා, නැත්නම් දඹුල්ලෙන් කනවා. දෙකම එකයි. අපේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනෑ.
පොදු මිනිස්සුන්ගේ ආණ්ඩුව
මේ කෘෂිකර්මාන්තය අපි වැඩිදියුණු කළ කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කරනවා. ගොවි ජනතාවගේ ආදායම් මාර්ගය වැඩිවෙන, බලය වැඩිවෙන, ගොවි ජනතාවට සමාජ වටිනාකම හැදෙන නව කෘෂිකර්මාන්තයක් ජාතික ජන බලවේගය ඇති කරනවා. ඒක කරන්න ජාතික ජන බලවේගයේ අපිට තරම් වගකීමක් වෙන කිසිවෙකුටත් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ උඩ ඉන්න අයට. අපි හදන්නේ පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ.
අපි ජනාධිපතිකම් නළලේ කොටාගෙන ආව අය නොවෙයි. අපි පොදු ජනතාවත් එක්ක දේශපාලනය කරලා, ඒ ජනතාවත් එක්ක ජීවත්වෙලා, ජනතාවගේ වේදනාව, දුක, අත්විඳපු මිනිස්සු. ඒ නිසා අපට අවශ්‍යයි, මේ රට වෙනස් කරන්න. වෙනස් කළ යුතුමයි. කොච්චර වුවමනාව තිබුනත් අවස්ථාව එනකම් එක කරන්න බැහැ. මේ සැරේ වෙනස් කිරීමට අවශ්‍ය වන අවස්ථාව උදාවෙලා තිබෙනවා.
සෑම සමීක්ෂණ වාර්තාවකින්ම පෙන්වන්නේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගය බවයි. මේ වෙලාව තමයි වෙලාව. මේ සැරේ එකක්වත් වරද්දන්නේ නැතිව ජාතික ජන බලවේගයට හරවමු. අපිට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතුම ඡන්දය තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 දින පැවැත්වෙන්නේ. අපි අපේ වැඩකොටස අපි කරන්නම්. මහන්සි වෙන්නම්, කතා කරන්නම්. සැලසුම් හදන්නම්. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානම වැඩ කොටස තිබෙන්නේ ඔබලා අතේ. ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිරෙ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ.
ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න. හැම ගෙදරකටම යන්න. හැම ඥාතියාම හමුවෙන්න. යූ.එන්.පී., ශ්‍රී ලංකා, තරහා මරහා ඉවත් කරන්න. ඒගොල්ලෝ බලය වෙනුවෙන්, ඇමතිකම් වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන්, ඕන තරම් එහෙට මෙහෙට පනිනවා. සජිත් එක්ක සන්ධානෙ හදන්න යන මැති ඇමතිවරු ගොඩක් අපිත් එක්ක එකතු වෙන්න කතා කළා. අපි කිවුවා ඕගොල්ලන්ගේ පැටිකිරිය එතරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ එළියේ ඉඳගෙන අපට සහයෝගය දෙන්න, කියලා. මේ රට විනාශ කරන්න භාජනය වුණු, වැරදි තීන්දුවලට අත උස්සපු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති බව සහතික කරනවා.
අපට ඕනෙ වෙන දේශපාලනයක්. සජිත් පේමදාසට ආර්ථිකයේ ප්‍රධාන කෙනෙක් නාලක ගොඩහේවා. අපට නම් කොටස් වෙළඳපොළේ සල්ලි නැතිකරපු, ගිනිගත්ත නැවෙන් ලංකාවට ලැබිය යුතු වන්දිය අහිමි කළ කෙනා නාලක ගොඩහේවා. අපි අලුත් ගමනක් පටන් ගනිමු. මේ රට නව දිසාවකට ගෙනියමු. පවුල් කිහිපයක් අත තිබුණු රටේ දේශපාලනය, නව පරම්පරාවක් අතට, අලුත් බලවේගයක් අතට මාරු කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. ඒ වෙනුවෙන් ඔබ, හැමදෙනත් එක්කම කතා කරන්න. හැම ඥාතියත් එක්කම කතා කරන්න. අපෙ පක්ෂයේ හිටපු පරණ කෙනා, අමාරුම කාලෙ අල්ලගෙන හිටපු කෙනා, යූ.එන්.පී, ශ්‍රී ලංකා පක්ෂ පාට අමතක කර හැමකෙනාම එකතු කර ගනිමු. මේ වෙලාවෙදි ඔක්කොම එක සමානයි. ඒ හැම කෙනාම එකට හිට ගැනීම පිළිබඳව ගෞරවය දෙන්න ඕනෑ. නායකත්වය දෙන්න ඕනෑ. වැඩවලට සම්බන්ධ කර ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, රට වෙනස් කරන ආණ්ඩුවක් හදමු. ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙන්න.







