බිහිසුණු ව්‍යසනයක ලකුණු පහළ වී තිබේ. ලෝක යුද්ධයක් සම්බන්ධ පිපිරීම එහි අවසානය විය හැකිය. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසන්නේ මැදපෙරදිග පුළුල් යුද්ධයක් නොවැලැක්විය හැකි තැනකට පැමිණ ඇති බවය.
අද (31) අළුයම හමාස් නායක ස්මයිල් හනියේ මරා දැම්මේය. ඒ ඝාතනය සිද්ධවන්නේ ඉරානයේ දීය. ඊශ්‍රයාලය මේ වනතුරුත් නිශ්ඡිත වගකීමක් නොගන්නා නමුත් එය ඊශ්‍රයාල ප්‍රහාරයක් බව ලෝකය ඉදිරියේ සනාථ වී ඇත්තේය.
හනියේ ඉරානය තුළදී ඝාතනය වන්නේ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක් පිටුපස සිටි බව පවසන හිස්බුල්ලා අණදෙන නිලධාරියා මරා දැමූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර පැය 24කටත් අඩු කාලයකට පසුවය. දැන් මතු වී ඇති තත්ත්වය නම් ගාසා තීරයේ මාස 10ක් තිස්සේ දියත් වී ඇති බිහිසුණු යුද්ධය පිළිබඳව ඕනෑම සටන් විරාම ගිවිසුමකට ඇති ඉඩ කඩ මේ සටන් විරාම ගිවිසුමත් සමග නැති වී ගොස් ඇති බවය.

ඝාතනය වූ ආකාරය
හනියේ මරා දමන්නේ ඉරානයේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයකට සහභාගී වී පැය කිහිපයකට පසුවය. හමාස් ප්‍රකාශක සහ නියෝජ්‍ය ප්‍රධානී ඛලීල් අල්-හයියා කියා සිටියේ හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ටෙහෙරානයේ ඔහු නවාතැන් ගෙන සිටි කාමරයට රොකට් ප්‍රහාරයක් කෙලින්ම එල්ල කර මරා දමා ඇති බව.
ප්‍රහාරය එල්ලවන්නේ ඉරානයේ දේශසීමාවෙන් ඔබ්බේ සිටය. එය මිසයිල ප්‍රහාරයකි. අද (31) බදාදා අලුයම, ප්‍රාදේශීය වේලාවෙන් අළුයම 02:00 ට පමණ උතුරු ටෙහෙරානයේ හනියේ නවාතැන් ගෙන සිටි නවාතැනේ කාමරයට මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. ඉන් හනියේ සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂකයා මිය ගොස් තිබිණි.
මෙම ප්‍රහාරය ඉරානයේ ආරක්ෂක ඒජන්සිවල හැසිරීම ප්‍රශ්නයට ලක් කර තිබිණි. ඉරානය තුළ මෙවැනි ඊශ්‍රායල ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ගේ පාලනයෙන් තොරදැයි ලෝකය විමසමින් සිටි.
ඊශ්‍රායලය පසුගිය දශකයක පමණ කාලය තුළ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් වැලක් ඝාතනය කළේය. නමුත් ඉරාන භූමිය තුළ කිසිවිටෙක ඔවුන් ප්‍රභූවරයෙකු හෝ ප්‍රමුඛ පෙළේ ඉරාන දේශපාලන නායකයෙකු ඉලක්ක කර ගෙන නැත. දැන් තත්ත්වය වෙනස්ය. මරා දමා ඇත්තේ ඉරානයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයකට සහභාගී වූ අමුත්තෙකි. ඔහුව ටෙහෙරානගේ අගනුවර තුළ ඔහුගේ නවාතැන් ගත් කාමරය තුළම ඝාතනය කර ඇත.
සාමාන්‍යයෙන් හනියේ ජීවත් වන්නේ කටාර් හි මුල් කරගෙනය. 2017 දී හමාස් හි ඉහළම තනතුරට පත් කරන ලද හනියේ තුර්කිය සහ කටාර් අගනුවර වන දෝහා වෙත සංක්‍රමණය වී තිබිණි. හමාස් සංවිධානයේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ මුහුණුවර වූයේ ඔහුය. අවහිර කර ඇති ගාසා තීරයේ සංචාරක සීමාවලින් බේරී සටන් විරාම සාකච්ඡා වලදී සාකච්ඡාකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට ඔහුගේ මේ ස්ථානගතවීම වැදගත් වී තිබිණි.
පලස්තීන හමාස් සංවිධානයේ දැඩි මතධාරී සාමාජිකයන් හා සසඳන විට හනියේ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස ජාත්‍යාන්තර පිළිගැනීමක් විය.
හනියේව විනාශ කරන්නට ඊශ්‍රයාලය කටයුතු කළේ කොටස් වශයෙන් බව පෙනේ. ඊශ්‍රයාලය ජනවාරි මාසයේදී ඔහුගේ නියෝජ්‍ය ප්‍රධානී සලේ අල්-අරූරි මරා දැම්මේය. හනියේගේ පුතුන් තිදෙනා – හසෙම්, අමීර් සහ මොහොමඩ් – අප්‍රේල් 10 වන දින ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කළේය. ඒ මේ පිරිස ගමන්ගත් මෝටර් රථයට පහර දීමෙනි. එතැන සිදුවූයේ සමූල ඝාතනයකි. පුතුන් තිදෙනා සමග හනියේට ඔහුගේ මුණුබුරන් හතර දෙනෙකු නැති විය. මිය ගිය දරුවන් අතර ගැහැණු ළමයින් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු වූයේය.
මේ ම්ලේච්ඡ ඝාතනයෙන් පසු හනියේ ප්‍රකාශ කළේ තම දරුවන් හමාස් සටන් කරුවන් නොවූ බවය. එහෙත් ඊශ්‍රයාලය ඔවුන්ව ඝාතනය කළේ ඔවුන් හමාස් සටන් කරුවන් බවට චෝදනා කරමිනි.
මේ අවස්ථාවේ දී ජාත්‍යාන්තර මාධ්‍ය මේ ඝාතනය කිරීම සටන් විරාම සාකච්ඡාවලට බලපාන්නේ දැයි ඔහුගෙන් විමසා සිටියේය.
” සියල්ලට වඩා ඉදිරියෙන් ඇත්තේ පලස්තීන ජනතාවගේ අවශ්‍යතාවයි.” හනියේ කීවේ එසේය.
“අපේ සියලුම ජනතාව සහ ගාසා වැසියන්ගේ සියලුම පවුල් ඔවුන්ගේ දරුවන්ගේ රුධිරයෙන් විශාල වන්දියක් ගෙවා තියනවා. ඒ අතර මම ඔවුන්ගෙන් කෙනෙක්” ඔහු කියා සිටියේ තම පවුලේ සාමාජිකයින් 60 දෙනෙකු යුද්ධයෙන් මිය ගිය බවය. නායකයින් උපදින ආකාරය පිලිබඳව හනියේ වැනි චරිත කියවිය යුතු බව විශ්වාස කරමු.
අවසානයේ ඊශ්‍රයාලය සිය නිශ්ඡිත ගොදුර ඩැහැගෙන ඇත්තේය. ඒ ලෝකයම අවදානමකට හෙළමිනි.

ඝාතනයට ප්‍රතිචාර
හමාස් සන්නද්ධ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හනියාගේ ඝාතනය විසින් ඊශ්‍රයාලය සටන වෙනස් කළ බවය. එය විශාල ප්‍රතිවිපාක ඇති කරන්නක් බවත් ඔවුන් අනතුරු ඇඟවූයේය.
මේ වනවිට හනියාගේ ඝාතනය සම්බන්ධව ඉරානය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. ඉරානය සහතික කර ප්‍රතිඥා දුන්නේ ධරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවය.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඊශ්‍රායලය තමන්ටම දරුණු දඩුවම් සඳහා පදනම සපයා ඇති බව සහතික කළේය. හමාස් නායකයාගේ මරණය ඉරාන අගනුවර සිදු වී තිබේ. අලි කමේනිට අනුව පළිගැනීම ටෙහෙරානයේ යුතුකමය.
ඊශ්‍රායලයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ වගකීමක් ප්‍රකාශ කර නැත. ඊශ්‍රායල හමුදාව කියා සිටියේ තමන් තත්ත්වය තක්සේරු කරමින් සිටින නමුත් සිවිල් වැසියන් සඳහා නව ආරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කර නොමැති බවයි. අගමැති බෙන්ජමින් නෙතන්යාහු සවස ආරක්ෂ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබිණි.
ඊජිප්තුව සමඟ ගාසා තීරයේ සටන් නැවැත්වීම ඉලක්ක කර ගනිමින් සාකච්ඡා කරන කටාරය හනියාගේ ඝාතනය ගැටුමේ භයානක උත්සන්න කිරීමක් ලෙස හෙළා දුටුවේය.
“දේශපාලන ඝාතන සහ ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සාකච්ඡා කරද්දී එක් පාර්ශ්වයක් අනෙක් පැත්තෙන් සාකච්ඡා කරන්නා ඝාතනය කරන විට මැදිහත් වීම සාර්ථක වන්නේ කෙසේද?” අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් අල් තානි X හි ලිවීය.
ඊජිප්තුව පැවසුවේ ආතතීන් සමනය කිරීමට ඊශ්‍රායලයේ දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම පෙන්නුම් කළ බවයි. චීනය, රුසියාව, තුර්කිය සහ ඉරාකය ද මේ ඝාතනය හෙළා දැක ඇත.
ඉරානයේ ඉහළම ආරක්ෂක මණ්ඩලය රැස්වී හනියාගේ මරණයට ප්‍රතිචාර වශයෙන් උපාය මාර්ග තීරණය කළ බව තත්වය පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍රයක් පැවසීය.
එක්සත් ජනපදය
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, සිංගප්පූරුවේ පැවති උත්සවයකදී, හනියේ ඝාතනය පිළිබඳ ප්‍රශ්නය මග හැරියේය. ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් පුළුල් කලාපීය උත්සන්න වීම වැලැක්වීම සඳහා ප්‍රධාන බව පමණක් ඔහු කීවේය.
“ඕනෑම සිදුවීමක් අනෙකට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මා අනුමාන කිරීමට යන්නේ නෑ. මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගෙන අත්දැකීමෙන් ඉගෙන ගෙන ඇති පාඩම එයයි.”
ඔහු චැනල් නිවුස් ඒෂියා වෙත පැවසුවේය. එක්සත් ජනපදය මෙම ඝාතනයට කිසිම ආකාරයකින් සම්බන්ධ වී නොමැති බවය.
ඊශ්‍රයාල ප්‍රතිචාරය
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පැවසුවේ ඊශ්‍රායලය යුද්ධය උත්සන්න කිරීමට උත්සාහ නොකරන නමුත් සියලු අවස්ථා සඳහා සූදානම් බවය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ ගාසා තීරයේ යුද්ධය අතර මේ වනවිට ඊශ්‍රයාල ප්‍රහාරවලින් .39,400 කට වැඩි පිරිසක් මිය ගිය අතර මිලියන 2 කට සමස්ථ ජනගහණයම වැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බව ගාසා සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.







