ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව දැන දැනම සිය නම ඩයනා ගමගේ බව නීත්‍යානුකූලව සංශෝධනය කර නොමැති බව හොඳින්ම දැනුම්වත්ව වර්ෂ 2004.10.09 හා 2004.12.12 කාලය අතර තුරදී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 04 වැනිදා දක්වා කල් තැබිමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (04) නියෝග කළේය.
විනිසුරුවරයා මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේ විත්තිකාර ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති චෝදනා සනාථ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලේඛන ගොනුව එදින විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.
එමෙන්ම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර විශේෂ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන සතියක කාලයක් ඇතුළත තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට විනිසුරුවරයා නියෝග කළේය.
එමෙන්ම එකී විමර්ශනයට අදාලව සිය භාරයේ ඇති සියලුම ලේඛන සතියක කාලයක් ඇතුළත මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාටද විනිසුරුවරයා විසින් නියෝග කෙරිනි.
කොළඹ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝග නිසි පිරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට පැමිණිල්ල මෙහෙයවන රජයේ අධි නීතිඥ අකිලා දල්පදාදුට මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය.







