මනම්පිටිය නිමල් ජයරත්න –
ධාවනය කළ බස් රථයකට බල්ලෙක් යටවීම නිසා උරණ වූ පිරිසක් පොලොන්නරුව ලංගම ඩිපෝවේ සේවය නියුතු රියදුරෙකුට පහර දීම නිසා රියදුරා බරපතල තත්ත්වයෙන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අරලගංවිල පොලිිසියි කියයි.
කදුරුවෙල සිට මහදමන දක්වා බිම්පොකුන මාර්ගයේ ධාවනය කරන මෙම ලංගම බස්රථයට එම සුනඛයා යටවීමෙන් මියගොස් ගොස් ඇති අතර අනතුරුව රියදුරු බස්යෙන් බස්සවා තරුණයන් 15 ක් පමණ රියදුරාට පහර දී ඇති බවට ලංගම ඩිපෝ අධිකාරී වරයා විසින් අරලගංවිල පොලිසියට පැමිණිලි කර තිබේ.
ඊයේ (26) සවස මෙම සිද්ධිය සිදුව ඇති අතර ලංගම බස් රියදුරුට පහරදුන් තරුණයින් 15 දෙනාගෙන් තිදෙනෙකු අද 27 අත්අඩංගුවට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පී වසන්ත ප්‍රේමලාල් අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ අංක 142 මහදමන, ඇල්ලෙවැව, ලිපිනයේ පදිංචි කේ. ජී. මහින්දරත්න නැමැති ලංගම රියදුරෙකි.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වාගේ උපදෙස්මත පොලොන්නරුව පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාලගේ මගපෙන්වීම යටතේ අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







