නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයෙක් වූ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක එන මග හරස් කර නැවත හරවා හැරීමට නුවරඑළිය ගොවි පිරිසක් අද (05) උදේ කටයුතු කළහ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
නුවරඑලිය මිපිලිමාන දිමුතුගම ප්‍රදේශයේ පාලමක් ඉදි කිරිම සඳහා මුල්ගල තැබිමේ උත්සවයක් අද උදෑසන සංවිධානය කර තිබිණි. මුල්ගල තැබීමට පැමිණෙන්නට නියමිත ආරාධිතයා වූයේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායකය.
අමාත්‍යවරයාගේ පැමිණීම දැනගත් නුවරඑළිය මීපිලිමාන ගොවීහු උද්ඝෝෂණයක් සංවිධානය කළහ. උද්ඝෝෂණයේ නිමිත්ත තම එළවළු වගාවට අවශ්‍ය රසායනික පොහොර ලබා ගැනීමය. පොහොර ලබා දෙන තුරු කිසිම දේශපාලකයෙක් සිය ගම්බිම් වෙත නොපැමිණිය යුතු බව කියමින් කළු කොඩි රැගත් උද්ඝෝෂකයෝ අමාත්‍යවරයා එන මග මීපිලිමානේ දී රැක සිටියහ.

උද්ඝෝෂනය ගැන දැනගත් පොලිසිය සහ ඇමති ආරක්ෂක අංශ ඇමතිවරයා මුලින් එම ස්ථානයට නොයවා ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය සහ පෙර ගමන් රථ කීපයක් කලින් එම ස්ථානයට එවීමට කටයුතු කළේය.
ගොවීහු රථ හරස් කළහ. ඇමතිවරයා රථවල සිටියේ නැත. එහෙත් රථ පෙළ ආපසු හරවන ලෙස ගොවීහු කියා සිටියහ.
“සමාවෙන්න මහත්මයා. කරුණාකරලා මේ වාහන ටික හරවගෙන යන්න. අපේ ප්‍රධාන ගැටලුව ජීවත්වෙන්න කරන වගාවට අවශ්‍ය පොහොර ටික. ඒ ටික දෙන්න බැරි සංවර්ධනයත් අපට අවශ්‍ය නෑ, දැනට අපේ මිනිස්සුන්ට ඕන පාලම් නෙමෙයි. මූලික අවශ්‍යතාවය වෙච්චි පොහොර ටික. ඒ ටික මුලින් දීලා ඊට පස්සේ දෙවනුව සංවර්ධනය කරන්න කියන පණිවිඩය අපි කිව්ව කියලා ඇමතිතුමාට කියන්න. පොහොර දෙන්නෙ නැතිව ආපහු අපේ ගම්පැත්තෙ එන්න එපා කියලත් එතුමට කියන්න…“
ගොවීන්ගේ පණිවිඩයත් අරගෙන සී.බී. රත්නායක ඇමතිවරයාගේ ප්‍රභූ රථ පෙළ පැමිණි වේගයෙන්ම ආපසු ගියේය.







