පොලිසියට බැඳී පොලිස් නිල ඇඳුමක් ඇඳගන්නා නිලධාරියෙක් පාතාලයෙන් එල්ලවන තර්ජන හෝ ප්‍රහාර සම්බන්ධව තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දි පාතාලයෙන් පොලිස් නිලධාරීන්ට එල්ල වි ඇති තර්ජන සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ( මේජර් ) සුදර්ශන දෙණිපිටිය කළ විමසීමකට පිළිතුර ලබා දෙමිනි.
එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පොලිස් නිලධාරින්ට එවැනි ආරක්ෂාවක් ලබා දිය නොහැකි බවය.
සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කර ඇති වෙඩි තැබීම් ගණන 62ක් බවත් ඉන් මියගිය පුද්ගලයි ගණන 32ක් බවත් තුවාල ලැබූ පිරිස 37ක් බවත් පාර්ලිමේන්තුවේ දි හෙළි විය.
මේ වනවිට බස්නාහාර සහ දකුනේ වෙඩික්කරුවන් 08ක් අත් අඩංගුවට ගත් බවත් ඉන් 02ක් පොලිසිය හා සමග ඇති වූ ගැටුමක දී මිය ගිය බවත්, පැදිකරුවන් 09ක් අත් අඩංගුවට ගත් බවත් ඉන් 01ක් පුද්ගලයෙක් මිය ගිය බවත් ආධාර අනුබල දීම නිසා 67ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
බන්ධනාගාරය තුළ සිට මෙහෙයවන පාතාල ජාවාරම් නවත්වා ගැනීම සඳහා එම අපරාධකරුවන් හඳුනාගෙන වෙනම විශේෂිත ස්ථානයක රඳවා තබන්නටත්, විදේශගතව සිට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් 30 දෙනෙක් නැවත ගෙන්වා ගැනීම සඳහා එම විදේශීය රාජ්‍යයන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඇමතිවරයා පැවසුවේය.









