පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටිය දී මානසික ආතතිය සඳහා ලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් මියගිය බවට සැක කළ සිසුවියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) සිදු කිරීමෙන් පසු අධිකරණය වෛද්‍යවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බව පොලීසිය පවසයි.
මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යොමුකර කරන ලෙස ද අධිකරණය වෛද්‍යවරයා දැනුම් දී ඇත.
කුරුණෑගල රිදීගම පදිංචි විනෝදි වින්ද්‍යානි ද සිල්වා (26) නැමැති මියගිය සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුණපාල මලලසේකර නේවාසිකාගාරයේ කාමරයක සිහිසුන්ව සිටිය දී 28 දින රාත්‍රී 10.00 ට පමණ ඇගේ යෙහෙළියන් දෙදෙනෙකු විසින් පාලනාධිකාරිය ද දැනුවත් කර රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ සිසුවිය පෙරේදා (01) අලුයම 3.15 ට පමණ මියගොස් ඇත.
මානසික ආතතිය හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබාගෙන තිබෙන මියගිය සිසුවිය මාස දෙකක පමණ කාලයක් ඒ සඳහා වෛද්‍යවරු නියම කළ ඖෂධ පානය කර නොමැති බවට තොරතුරු හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් කීය.
මෙම සිසුවිය ඉංජිනේරු පීඨයේ 2017 කණ්ඩායමේ සමාජිකාවක බවත් ඇය වෛද්‍ය උපදෙස් මත මාස දෙකක පමණ කාලයක් විශ්වවිද්‍යාලයට නොපැමිණීම නිසා 2018 කණ්ඩායමට ඇතුළත්ව ඇති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.







