යුක්රේනයේ සටන් වදිමින් සිටිය දී වැල්දිමීර් පුටින්ට එරෙහිව රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාව මෙහෙයවූ එම හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් රුසියාවේ මොස්කව් නුවර උතුරු දිග ප්‍රදේශයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ කඩා වැටී ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් බවත් එහි සිටි වැග්නර් හමුදා නායක යෙව්ගිනි ප්‍රිගොෂින්, නියෝජ්‍ය ප්‍රධානියා වූ දිමිත්‍රි උට්කින් ඇතුළු මගීන් දසදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් යානයේ ගමන් ගත් සියලු දෙනා වැග්නර් හමුදාවේ ප්‍රබලයින් මෙන්ම ප්‍රිගොෂින්ගේ සමීපතමයින් බවත් විදෙස් මාධ්‍ය කියයි.
වයින් පෙට්ටියක් තුළ සඟවා තැබූ බෝම්බයක් පිපිරී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.
අනතුර සිදුවූ අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු….
යානයේ ගමන්ගත් පිරිසගේ නම් ලැයිස්තුවේ වැග්නර් නායකයාගේ නම ද ඇතුළත් බව සඳහන්වේ. වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇති බවට වාර්තා පල වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව ඔහු දියත් කළ අසාර්ථක කුමන්ත්‍රණයෙන් මාස දෙකකට පසුවය.
කෙසේ වෙතත් අනතුරින් මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගෙන ඇති නමුත් එහි වැග්නර් නායකයාගේ සිරුර ඇති ද යන්න මෙතෙක් තහවුරු කර නැත.
රුසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ වැග්නර් නායකයා ද අනතුරින් මිය ගොස් ඇති බවය.
කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් කර ඇත්තේ වෙනත් ගුවන් යානයක බවත්, ඒ අනුව ඔහු මියගියේ ද මරණයෙන් ගැලවුනේ ද යන්න තවමත් අභිරහසක් බවත් කීවද රුසියාව දැනටමත් වැග්නර් නායකයාගේ මරණය තහවුරු කර අවසන්ය.
යෙව්ගනි ප්‍රිගොෂින් යනු පුටින්ගේ සමීපතමයෙකු වන අතර ඔහු රුසියානු ජනාධිපතිවරයාගේ හිටපු සූපවේදියා ද වේ.