මාදුරුඔය හා සෝමාවතිය ජාතික වනෝද්‍යානය වෙත වන අලි ගමන් කරන මාර්ගයක් අවහිර කරමින් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මේ දිනවල පරිසරයට හානි වන අයුරින් විදුලි වැටක් ඉදිකිරීම හේතුවෙන් තම ගම්බිම්වලට වන අලි රංචු පිටින් පැමිණ ජීවිත හා දේපළ හානිකරන බව වැලිකන්ද සිංහපුර ඇතුළු අවට ගම්වාසීහු චෝදනා කරති.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනයවන අක්කර 300 කින් යුත් මෙම ප්‍රදේශයක අක්කර තිහක පමණ ප්‍රමාණයක් මෙම පෞද්ගලික සමාගම මේ වනවිට සංවර්ධන කරමින් මේ විනාශය සිදුකර ඇති බව ගොවීහු පෙන්වා දෙති
එම පෞද්ගලික සමාගම මගින් අදාළ විදුලි වැට ඉදිකිරීම සඳහා ප්‍රදේශයේ වටිනා ශාක වර්ග කපා ලී කොට අලි වැටට යොදාගැනීමේ හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව ඇති බවත්, මෙම සමාගම මගින් ඉදිරියේදී කුකුළන් ලක්ෂ පහක පමණ ප්‍රමාණයකි යුත් ගොවිපලක් ආරම්භ කිරීමට සූදානම් කර ඇති තත්ත්වය තුළ ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට ඇති හානිය සම්බන්ධව තමන් බරතපල සැකයකින් පසුවන බවත් ගොවි සංවිධාන පවසන්නේ අතීත අත්දැකීම් ද සිහික කරමිනි.
පසුගිය රජයන් සමයේ විවිධ බහුජාතික සමාගම්වලට මහා පරිමාණ වශයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ලබාදුන් ඉඩම් වත්මන් රජයේ අත්පත් කර ගනිමින් මහවැලි කලාපවල තුන්වන පරම්පරාවටම ලබාදීමට ක්‍රියාකරන බවට පොරොන්දු ලබාදුන් පසුබිමක මේ වන විට ප්‍රදේශයේ ඉඩම් මහා පරිමාණයෙන් බහුජාතික සමාගම්වලට ලබා දී, රක්ෂිත වනසා අලි මිනිස් ගැටුම උග්‍ර කර සිදු කරන මෙම විනාශය සදාචාරත්මක දැයි ගොවීහු රජයෙන් ප්‍රශ්න කරන්නේ මේ රජය පිහිටුවීම වෙනුවෙන් බලාපොරොත්තු සහගතව ඡන්දය දුන් පුරවැසියන් අතර තම ජනතාවගෙන් බහුතරයක් ද සිටින බව සිහි කර දෙමිනි
අප මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාපීය ඉඩම් නියෝජ්‍ය නේවාසික කළමනාකාර,එච්.ඒ. සිසිර කුමාර වික්‍රමසිංහගෙන් දුරකථනය කළ විමසීමකදී ඔහු පැවසුවේ, මේ සම්බන්ධව අනුමැතියක් ලබාගෙන ඇත්ද යන්න විමසා බලන බවත්, ඒ සම්බන්ධ සොයා බලා ඉතා ඉක්මනින් ඊට අවශ්‍ය කටයුතු කරන බවත්ය.







