මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී දත් හතරක් කඩා බරපතල තුවාල සිදුකිරීමේ වරදට පුලස්තිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සර්වජන බලය පක්ෂයේ ලංකාපුර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් ශලණි ගුණවර්ධන අද (15) වෙනිදා නියෝග කළාය.
2026 ජනවාරි 26 වෙනිදා මී ළඟ නඩු වාරය සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙසටද පුලස්තිපුර පොලිසියට ගුණවර්ධන මහත්මිය නියෝග කළාය.
පසුගිය 13 වෙනිදා අල්හිලාල්පුර තඹාල ප්‍රදේශයේ පදිංචි කුප්පතම්බි මොහොමඩ් අස්වර් යන අයට පහරදීමෙන් අනතුරුව දත් හතරක් කැඩි ඇති බවට ඔහු විසින් පුලස්තිපුර පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (14) දිනයේදී ය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොම්මදු කාසිම් අබ්දුල් සමඩ් යන අය බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ උපදෙස් මත පුලස්තිපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







