මේ වෙලාවේ පලාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට වඩා ජාතික මැතිවරණයක් පැවැත්වෙනවා නම් ඒ තුළින් රටට ප්‍රයෝජනයක් අත්වන බවත්, අධික මුදලක් වියදම් කර පළාත් පාළන මැතිවරණයක් පැවැත්වීමෙන් රටට කිසිම ප්‍රයෝජනයක් අත්නොවන බවත් ප්‍රධාන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු කණ්ඩායමක් හොර රහසේ පසුගියදා ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ කළ බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ සහ සුළු පක්ෂවලට අයත් මන්ත්‍රීවරු පිරිසක් මෙසේ පසුගිය සඳුදා ජනාධිපතිවරයා මුණ ගැසී මේ බව යෝජනා කළ බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
ආණ්ඩුව සමග එක්ව ඉදිරි කටයුතු මෙහෙයවීම සම්බන්ධව සංවිධානය කර ඇත්තේ වජිර අබේවර්ධන හා එස්.බී දිසානායක විසින්ය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දී ඒ සඳහා රුපියල් බිලියන 10කට වැඩි මුදලක් වැය වන බව මැත්වරණ දෙපාර්තමේන්තුව මේ වනවිට ඇස්තමේන්තු කර ඇත.
ඊට අමතරව එක් අපේක්ෂයෙකුට ලක්ෂ 50 සිට 75 දක්වා මුදලක් වැය වන බවත් සාකච්ඡාවට එක් වූ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
මීට අමතරව දේශපාලඥයින්ට ආරක්ෂාව සැපයීම, ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේ දී දැඩි ගැටලු මතුවන බව මන්ත්‍රීවරු පෙන්වා දී ඇත
කෙසේ වෙතත් මෙහි දී ඡන්දය කල් දැමීම හො එය නොපැවැත්වීම පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පල කර නැත.
ඒ සම්බන්ධව සියලු පක්ෂ සමග සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගන්නා බව ප්‍රකාශ කර තිබේ.
ඡන්දයක් කල් දැමීමට තමන්ට කිසිදු අදහසක් නැතත් රට මුහුණ පා ඇති තත්ත්වය ගැන මුලින් සිතා බැලිය යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. ඡන්දයක් තිබුණත් නැතත් මේ දේශපාලන සංවාදය පවත්වාගෙන යා යුතු බවත්, ඒ සඳහා ලබන සතියේදීත් යළිත් මෙම මන්ත්‍රී කණ්ඩායම ජනපති හමුවීමට සූදානමින් ඇති බවත් වාර්තා වේ.







